පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී දැන් පීජීපී ග්ලාස් සිලෝන් පීඑල්සී ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට මුල් පෙළේ වීදුරු නිෂ්පාදන සමාගමක් වන පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී (Piramal Glass Ceylon PLC) සමාගම ජුලි 28 වැනිදා සිට පීජීපී ග්ලාස් සිලෝන් පීඑල්සී (PGP Glass Ceylon PLC) ලෙස නම් වෙනස් කිරිමක් සිදු කරන බව පවසයි.

මෙම නම් වෙනස් කිරිමට අදාළව සමාගම් ජෙරිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ලැබුණු අනුමැතියෙන් පසුව 2021 ජූලි 22 වැනිදා පැවැත්වුණු සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙලෙස නම වෙනස් කිරිමක් සිදු කර තිබෙන බව එම සමාගම සිය කොටස්හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි.

පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම ඉන්දියාවේ PGP Glass පෞද්ගලික සමාගම ( ප්‍රිස්ටීන් ග්ලාස්)  මගින් මිලදී ගැනීම යටතේ පසුගිය ජූලි 13 වැනිදා ඡන්ද හිමි කොටස් 210,904,751ක් එනම් 20.22%ක ප්‍රතිශතයක් PGP Glass පෞද්ගලික සමාගම වෙත හුවමාරු කිරිමෙන් අනතුරුව මෙම නම් වෙනස් කිරිම සිදුව තිබේ.

ඊට පෙර පසුගිය මාර්තු මාසයේදී සිදුවුණු ගනුදෙනුවකදී PGP Glass පෞද්ගලික සමාගම මගින් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමේ කොටස් 536,331,880ක් එනම් 56.45%ක ඡන්ද හිමි කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සිදු වී තිබුණි.

ඒ අනුව පසුගිය ජූලි 13 වැනිදා සිදු වුණු ඉහත සඳහන් කළ මෙම කොටස් 210,904,751ක මිලදී ගැනීමත් සමගින්ම PGP Glass පෞද්ගලික සමාගම සතු පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී කොටස් ප්‍රමාණය 747,236,651ක් බවට පත්ව ඇති අතර එය 78.65%ක ප්‍රතිශතයක් බවත් එය සමාගම තුළ පිරාමාල් ග්ලාසි පීඑල්සී සතුව තිබූ සමස්ත කොටස් හිමිකාරීත්වය බවත් සඳහන් වෙයි.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික අජේ පිරාමාල් වෙත අයත් පිරාමාල් එන්ටප්‍රයිසස් සමාගම විසින් ඉන්දියාවේ ගුජරාට් ග්ලාස් සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව 1984 වසරේදී පිරාමාල් ග්ලාස් සමූහය පිහිටවුණි. එසේම ශ්‍රී ලංකාවේ සිලෝන් ග්ලාස් සමාගම අත්පත් කරගෙන එම සමූහය ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර වෙත පිවිසුණි.

එම සමූහයට අයත් පිරාමාල් ග්ලාස් නිෂ්පාදන කර්මාන්තශාලා ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇත. කෙසේ වෙතත් මෙලෙස සිය වීදුරු නිෂ්පාදන අංහය අලෙවි කර ඒ හරහා ලැබෙන ප්‍රාග්ධනය සිය අනෙකුත් ව්‍යාපාර වන සෞඛ්‍ය සේවා, දේපළ වෙළෙඳාම්, මූල්‍ය ඇතුළු තවත් ක්ෂේත්‍ර වෙත යෙදවිම සමාගමේ අරමුණ විය.

Visits: 138