ගෘහස්ථ විදුලි රැහැන් මිල 11% කින් අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

මෙරට ගෘහස්ථ විදුලි රැහැන් (වයර්) මිල ලබන අගෝස්තු 01 වැනිදා සිට 11%කින් අඩු කිරිමට එම නිෂ්පාදන සමාගම් එකඟ වූ බව සමූපාකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එම නිෂ්පාදන සමාගම් අතර ඊයේ පැවැති හමුවකදී මෙම එකඟතාවට පිවිස තිබේ.

මෙම සාකච්ඡා සඳහා කැළණි කේබල්ස් පී එල් සී, ඒ සී එල් කේබල්ස් පී එල් සී, සියෙරා කේබල්ස් සමාගම, එස් ආර් කේබල්ස් සමාගම සහ ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් සමාගම සහභාගි වී ඇත.

මෙරට සම්පූර්ණ ගෘහස්ථ විදුලි රැහැන් (වයර්) නිෂ්පාදනය දේශීය කර්මාන්ත විසින් සිදුකරන අතර අපනයන වෙළඳපොල සඳහා ද දායක වීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5000 සිට 10000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ඉහළ යාමකට ලක් වෙමින් තිබුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන කණ්ඩායම් වෙත වාර්තා වී තිබේ.

ඒ අනුව අදාළ නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා වට තුනක් පවත්වා මින් ඉදිරියට විශේෂිත වූ තත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත්, දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90% කම නිෂ්පාදන වර්ග වල මිල 11% කින් ද, එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද 2021 අගෝස්තු 01 වැනිදා සිට අඩු කිරීමට සියළු සමාගම් එකඟ වූ බව සමූපාකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Visits: 329