කල්පිටිය ආශ්‍රිතව Water Villas 50ක් සහිත සුඛෝපභෝගී සංචාරක නිකේතනයකට අනුමැතිය

කල්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදේශය ආශ්‍රිත දූපත් තුනක් යොදා ගනිමින් ජල සංචාරක නිවාස සහ ජල බංගලා (වෝටර් විලාස්) සහිත සංචාරක නිවාස 50කින් සමන්විත සුඛෝපභෝගී සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව රජය පවසයි.

සීමාසහිත සන් රිසෝට් ඉන්වෙස්ට්මන්ට් ලංකා (පෞද්) සමාගම නම් සමාගමකට මෙම අවස්ථාව ලබා දී තිබේ. දැනටමත් මෙම සමාගම මගින් කල්පිටිය ප්‍රදේශයේ වෙල්ලෙයි I,II සහ III යන දූපත් දිගුකාලීන පදනම මත බද්දට ලබා ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් සංචාරක අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අනුමැත කෙරී ඇත.

විශේෂයෙන්ම ගෝලීය සංචාරක කර්මාන්ත‍යේ ඉහළ පෙලේ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තයේ නිරත ඇතැම් රටවල් විසින් ජල බංගලා සංකල්පය (Water Villas) හඳුන්වා දී ඇතැයි රජය පවසයි.

ඒ අනුව කල්පිටිය සහ අනෙකුත් වෙරළබඩ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජල සංචාරක නිවාස සහ ජල බංගලා සංකල්පය භාවිත කළ හැකි බව පෙනී ගොස් තිබෙන බව රජය සඳහන් කරයි.

එහිදී දූපත් නිකේතන සංකල්පය ප්‍රවර්ධනය කරමින් කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි දූපත් 12ක් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත දැනටමත් පවරා දී තිබෙන බවත් පැවසෙයි.

Visits: 196