ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා මැණික් තුනක් STF ආරක්ෂාව මැද ලංකා බැංකු සේප්පුවට

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව ඇති මිල කළ නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව සඳහා කොළඹ ලංකා බැංකු ප්‍රධාන මූලස්ථානයේ සේප්පුවට රැගෙන යාමක් අද දිනයේදී සිදුව ඇතැයි වාර්තා වෙයි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳ සඳහන් කර ඇත.

ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්‍ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ මෙම මැණික් 03 ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීම සිදුව තිබේ.

කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් එහි සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කිරීමත් සමග මෙලෙස එම වටිනා මැණික් ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතින බවත් එම අමාත්‍යාංශය පවසයි.

නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ ලංකා බැංකුවෙහි පිහිටි එම අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තැබීම සිදු කළ බවද එම අමාත්‍යාංහය පවසයි.

Visits: 122