හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙහිදී ඒ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරී ඇත.

එයාර් චීෆ් මාෂල් ගගන් බුලත්සිංහල මහතා මෙරට හිටපු ගුවන් හමුදාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. 2015 ජූනි 15 වැනිදා ඔහු ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබුවේය. එසේම ඒ මහතා මීට පෙර ඇෆ්ගනිස්තානයේ තානාපතිවරයා ලෙසද පත්වීම් ලැබ ඇත.

මීට අමතරව අරුල් සිවගනනාතන් මහතාද කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරී ඇත. ඒ මහතා ඉංජිනේරුවරයෙකු මෙන්ම ගණකාධිකාරිවරයෙකුද ලෙස කටයුතු කළ අයෙකි. ඒ මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරී ඇත.

2021 ජූලි 16 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක වන බව කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම පවසයි. එසේම මෙම නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම ජනශක්ති පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකම සහිත පරිපාලිත සමාගමකි. එහි කොටස් අතරින් 86.07%ක හිමිකාරීත්වය පවතින්නේ ජනශක්ති පීඑල්සී සමාගමටයි.

Visits: 143