මහබැංකුව ‘ව්‍යවාහාර මුදල් නිකුතුව හා කළමනාකරණයේ සැත්තෑ වසරක ගමන් මඟ’ එළිදක්වයි

‘ව්‍යවහාර මුදල් නිකුතුව හා කළමනාකරණයේ සැත්තෑ වසරක ගමන් මඟ’ නමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිත වූ ව්‍යවහාර මුදලේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇතැයි පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා (විශ්‍රාමික) ශෙලෝමි එච්.ගුණවර්ධන මෙනෙවිය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (විශ්‍රාමික) ඩබ්.එම්.කේ. වීරකෝන් මහතාගේ සම කර්තෘත්වයෙන් මෙම ග්‍රන්ථය එළි දක්වා තිබේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ප්‍රකාශනයකි.

සම සංස්කාරක දෙපළ විසින් පසුගියදා මෙම ප්‍රකාශනයේ පළමු පිටපත මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා වෙත පිළිගැන්වීම සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන බැංකුකරුවන්, සිසුන්, නාණක ශාස්ත්‍රයන්සහ සාමාන්‍ය පාඨකයන්ගේ පරිශීලනය සඳහා මෙම ප්‍රකාශනය සම්පාදනය කෙරී ඇත. මෙහිදී කතුවරුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් ලද වසර ගණනාවක අත්දැකීම් ඊට උපයෝගී කරගෙන ඇත.

පුරාණ කාලයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසිවල ආකර්ෂනීය වර්ණ ඡායාරූප රාශියක් ඒවායෙහි විස්තරයන්දසහිතව මෙහි අඩංගුව ඇත. එමගින් සත්තෑ වසරක කාලය පුරා රටේ පැවැති දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික පසුබිම පිළිබඳ දැක්මක්ද ග්‍රන්ථය මගින් සැපයෙන බව පවසයි.

මෙහි පරිච්ඡේද හතක් ඇතුළත්ය. මෙම ප්‍රකාශනය පරිච්ඡේද හතකින් සමන්විත වේ. පළමුවන පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සහ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය සම්බන්ධයෙන් එය සතු කාර්යභාරය පිළිබඳ ඓතිහාසික විස්තරයක් සැපයෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද කාලයේ දී සංසරණයෙහි පැවති මුදල් නෝට්ටු සහ කාසි පිළිබඳව දෙවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ. තෙවන පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාසි පිළිබඳව ද, සිව්වන පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසු නිකුත් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු පිළිබඳවත් සාකච්ඡා කෙරේ. පස් වන පරිච්ඡේදයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සමරු නෝට්ටු සහ කාසි පිළිබඳ ව දැක්වෙන අතර, ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් නිකුත් කළ කාසි කාණ්ඩය ගැන විස්තර කෙරෙන විශේෂ කොටසක් ද එයට ඇතුළත් ය. සය වන පරිච්ඡේදයෙන් මුදල් නෝට්ටුවල ආරක්ෂණ සලකුණු සාකච්ඡා කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කරන සහ කළමනාකරණය කරනු ලබන නෛතික රාමුව සත් වන පරිච්ඡේදයෙන් ආවරණය කෙරේ.

ඉංග්‍රීසි භාෂාවෙන්පළ වී ඇති මෙම ප්‍රකාශනය කොළඹ 01, චැතැම් වීදියෙහි සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රකාශන අලෙවි කවුළුවෙන් එක් පිටතපතක් රුපියල් 1,000ක මුදලකට මිලදී ගැනීමට හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා 0112444502 ඔස්සේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රකාශන අලෙවි කවුළුව හෝ 0112477214 ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇමතිය හැකිය.

මෙම ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රකාශන අලෙවි කවුළුව බැංකු නිවාඩු දිනවලදී හැර, සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා විවෘතව පවතී.

Visits: 84