පිටතට ගලා ගිය සමස්ත විදෙස් ආයෝජනවල වටිනාකම රු. බිලියන 31 ඉක්මවයි

අද (ජූලි 16) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වුවත්, පසු අවස්ථාවේදී ආයෝජකයන් අතර ලාභ ඉපැයීමේ ප්‍රවණතාවක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව දර්ශක අගයන් දෙකම ඍණ අගයක් ගෙන තිබේ.

මේ අතර එක්ස්පෝ ලංකා ඇතුළු තවත් වටිනා සමාගම් තුළ ඉහළ මිලදී ගැනීමේ උනන්දුවක් දැකගත හැකි වූ බවද තැරැව්කාර සමාගම් සඳහන් කරයි. එසේම ඉදිරියේදී එළැමෙන කෙටි ගනුදෙනු සතිය සහ ඉපැයීම් ආයෝජකයන්ගේ ඉදිරිපත්වීම් වෙත බලපා තිබේ. මීට අමතරව අද දිනයේදී ඉහළ විදේශ ආයෝජන පිටතට ගලායෑමක්ද දැකගත හැකි වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,964.01ත් ඒකක 8,024.45ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,966.95ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 15) දිනයට සාපේක්ෂව ඒකක 32.7ක් එනම් -0.24%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ ටීජේ ලංකා පීඑල්සී කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 32.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 95ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 91ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+7.06), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+5.09), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+3.11), කැන්ඩි හොටේල්ස් පීඑල්සී පීඑල්සී KHC (+2.35), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+1.6), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-15.31), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-4.32), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-4.02), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.24), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.98) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,030.27ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 15දා) ‍ට සාපේක්ෂව ඒකක 1.05 ක එනම් -0.03%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.08ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 15දා) වාර්තා කළ රුපියල් බිලියන 1.94ට සාපේක්ෂව 59% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ ඉහළම අලෙවිකරුවන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.53ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.22%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 11.47ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.13ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් බිලියන 1.12කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 31.02ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.06 කි. එසේම කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 930.23ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 932ක් සඳහා ආහාර සහ සිල්ලර භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ප්‍රවාහන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 570ක සහ රුපියල් මිලියන 331ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 387