කොළඹ වරායට ආ යූරියා පොහොර තොගය ගැන Agstar PLC කරුණු දක්වයි

පසුගිය ජූලි 12 වැනිදා කොළඹ වරාය වෙත පැමිණ තිබෙන MA EMESA නෞකාව මගින් මෙරටට ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 10,000කට ආසන්න යූරියා පොහොර තොගය, රජය විසින් රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමක් සිදු කර තිබියදී මෙරටට ගෙන්වන ලද පොහොර තොගයක් නොවන බව එම පොහොර ආනයනය කළ බ්‍රවුන්ස් සහ සමාගමට අයත් Agstar PLC සමාගම පවසයි.

අද දිනයේදී එම සමාගම විසින් ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කරමින් මේ පිළිබඳව සඳහන් කර සිටියි. අදාළ නෞකාව සහ පොහොර තොගය සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලෙස සමාගම මෙම දැනුම් දීම සිදු කර තිබේ.

මෙම ලිපියේ සඳහන් ආකාරයට, මෙට්‍රික් ටොන් 9,795ක බරකින් යුත් එක්සත් ජනපද ඩොලර් මිලියන 3.9ක (3,970,000ක) වටිනාකමක් ගන්නා මෙම පොහොර තොගය නැව් ගත කර ඇත්තේ පසුගිය මාර්තු 06 වැනිදාය. එහෙත් රජය විසින් අදාළ රසායනික පොහොර ආනයන තහනම පනවන ලද්දේ පසුගිය මැයි 06 වැනිදා සිට ඉදිරියට නෞකා වෙත පටවන රසායනික පොහොර සඳහා වන බවත් සමාගම මෙහිදී කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව සිය සමාගම මගින් මෙරටට ගෙන්වීම සඳහා ඇනවුම් කළ එම පොහොර තොගය අදාළ නෞකාව වෙත පටවා ඇත්තේ රජය විසින් එම ආනයන තහනම පැනවීමට මාස දෙකකට පෙරාතුව බවද Agstar PLC සමාගම මෙහිදී පවසා සිටියි.

සමාගමට අනුව මෙම යූරියා පොහොර තොගය සඳහා ඇනවුම ලබා දී ඇත්තේ 2021 ජනවාරි 29 වැනිදාය. අනතුරුව එම පොහොර ආනයනය සඳහා අංක 0042002210002968 යටතේ ණයවර ලිපි (LC) යවා ඇත්තේ 2021 පෙබරවාරි 12 වැනිදාය. එසේම EM EMESA නෞකාව වෙත එම පොහොර තොගය පැටවීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අනුමැතිය  හිමිව ඇත්තේ මාර්තු 04 වැනිදාය.

ඉන් අනතුරුව අදාළ පොහොර තොගය නෞකාව පැටවීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අනෙකුත් ලියකියවිලි නිකුත් කර ඇත්තේ මාර්තු 06 වැනිදාය. එසේම ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් අදාළ පොහොර තොගය මාර්තු 22 වැනිදා නිදහස් කරගැනීම සඳහා වන අනුමැතිය එම සමාගම වෙත ලබා ඇතැයි Agstar PLC සමාගම පවසයි.

කෙසේ වෙතත් මාර්තු 11 වැනිදා දිනයේදී මෙම නෞකාව පැමිණෙද්දී එහි ප්‍රධාන එන්ජිමේ ඇති වූ දෝෂයක් නිසා එය මලක්කා සමුද්‍ර සන්ධියේදී නැවතී තිබේ. ඒ අනුව නෞකාවට පෙර සැලසුම් කළ පරිදි මාර්තු 15 වැනිදා මෙරටට ළගාවීමට නොහැකි වී ඇත. අවසානයේදී නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ පසුගිය ජූලි 12 වැනිදාය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සමාගම අදාළ නෞකාව කොළඹ වරාය තුළ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා තිබේ. එහිදී මෙම සැපයුම් තොගය පැමිණීම ප්‍රමාදවීම නිසා සිදුව ඇති අලාභය වෙනුවෙන් එම නෞකාවෙන් වන්දි ඉල්ලීමක් සිදු කරන බවත් Agstar PLC පවසයි.

එහිදී ශ්‍රී ලංකා රේගුව සහ වරාය අධිකාරිය වෙත මේ සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල් සමාගමවිසින් දැනටමත් ගෙවා ඇතැයිද සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය මැයි 06 වැනිදා රජය විසින් පනවන ලද රසායනික පොහොර ආනයන තහනම සම්බන්ධයෙන් රේගු බලධාරීන් මේවනවිට අවධානය යොමු කර තිබෙන බවත්, අදාළ තොගය නිදහස් කිරීම සම්බන්ධයෙන් එය බාධාවක් වී තිබෙන බවත් සමාගම පවසයි.

ඒ අනුව සමාගම මේ වනවිටත් අදාළ පොහොර තොගය නිදහස් කරගැනීම පිළිබඳව බලධාරීන් සමගින් සාකච්ඡා කරමින් තිබෙන බවත්, මෙහිදී සමාගම විසින් කිසිදු ආකාරයක නියාමනයක් කඩකර නොමැතිබවත් Agstar PLC සමාගම සඳහන් කර තිබේ.

එසේම අදාළ පොහොර තොගය මෙරටට ගෙන්වන ලද්දේ ජාතික පොහොර ලේකම්කාර්යාලයේ අනුමැතිය යටතේ බවත්, එය තේ ක්ෂේත්‍රයට අවශ්‍ය නයිට්‍රජන් පොහොර අවශ්‍යතාව සැපිරීම සඳහා වන බවත් සමාගම පවසයි. මීට අමතරව මෙරට වැවිලි සමාගම් සහ කුඩා තේවතු හිමියන්ගේ පොහොර අවශ්‍යතාව සැපිරීම සඳහා වන තොග සැපයීම වෙනුවෙන් දැනටමත් සමාගම සතුව ජාතික පොහොර ලේකම්කාර්යාලයේ අනුමැතියක් ඇති බවත් සමාගම පවසයි.

මේ අතර අදාළ රසායනික පොහොර තොගය මෙරටට ගොඩබැස්සවීම සඳහා නියමිත අවසරයක් හිමි නොවුණහොත්, තමන්ට ඉන් සිදුවන අලාභය මඟහරවා ගැනීම සඳහා එම පොහොර තොගය වෙනත් අවශ්‍ය ස්ථානයක් වෙත ආපසු යැවීම සඳහා සුදුසු කටයුතු යොදන බවත් Agstar PLC සමාගම පවසා ඇත.

ඒ අනුව මෙම සිදුවීමත් සමගින්ම සමාගම වෙත කිසිදු මූල්‍යමය බලපෑමක් එල්ල නොවන බවද Agstar PLC සමාගම මෙම ලිපිය මගින් දැනුම් දී තිබේ.

2021 මාර්තු 31 වැනිදා වනවිට Agstar PLC සමාගමේ කොටස් හිමිකාරීත්වය අතරින් 31.71% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සියෙරා හෝල්ඩිංග්ස් පෞද්ගලිකසමාගම වෙයි. එසේම 19.58%ක කොටස් ප්‍රතිශතයක් LOLC සමාගම වෙත හිමිව  ඇත. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වෙත 13.18%ක ප්‍රතිශතයක් හිමිය. ඒ අනුව අද වනවිට සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් (32.76%ක්) පවතින්නේ LOLC සමූහයටයි.

Visits: 391