රවී විජේරත්න SMB Leasing හි තවත් කොටස් බිලියන 2.3ක් මිලදී ගැනිමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන SMB Leasing PLC සමාගමෙහි තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් බිලියන 2.3ක් (2,301,080,342ක්) මිලදී ගැනීමට එහි කොටස් හිමිකරුවෙකු වන රවී විජේරත්න මහතා සූදානමින් සිටින බව පවසයි.

පසුගියදා සිදු කෙරුණු SMB Leasing PLC සමාගමේ ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකම් නිකුතුවෙන් අනතුරුව ලැයිස්තුගත කෙරී ඇති කොටස් තුළින් මෙම මිලදී ගැනීම සිදු කිරීමට ඔහු කටයුතු යොදා ඇති බවත් පවසයි.

මෙරට සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන, RANK Holdings සමාගමේ සභාපති රවී විජේරත්න මහතා සතුව මෙම හිමිකම් නිකුතුවට පෙරාතුව SMB Leasing PLC හි කොටස් 194,882,451ක් එනම් සමස්ත කොටස් අතරින් 16.352%ක හිමිකාරීත්වයක් පැවතුනි.

මෙම හිමිකම් නිකුතුවේදී SMB ලීසිං පීඑල්සී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 5,958,833,860ක්ද සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 3,070,330‍,505ක්ද නිකුත් කර තිබුණි.

මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් ශත 35ක් බැගින්ද, නිෂ්ඡන්ද කොටසක් ශත 12ක් බැගින්ද මිල කෙරී තිබුණි.

ඒ අනුව මෙහිදී ඉල්ලුම්පත්‍ර 126ක් හරහා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 5,278,608,276ක්ද, ඉල්ලුම්පත්‍ර 242ක් හරහා සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 2,467,537,611ක්ද මිලදී ගැනීමක් සිදු කර ඇතැයි SMB ලීසිං පීඑල්සී සමාගම අනාවරණය කර තිබුණි.

ඒ අනුව මෙම හිමිකම් නිකුතුවෙන් අනතුරුව සිදු කෙරෙන මිලදී ගැනීම යටතේ ඒ මහතා සතුව ඇති SMB Leasing PLC හි කොටස් ප්‍රතිශතය 64.44%ක් එනම් 16.35% සිට ආසන්න වශයෙන් 48.084%ක් කින් ඉහළ ගොස් තිබෙන බවත් පවසයි.

මෙලෙස කොටස් බිලියන 2.3ක් මිලදී ගැනීමේදී රවී විජේරත්න මහතා විසින් එක් කොටසකට රුපියල් ශත 35ක් බැගින් ගෙවීමට නියමිත ඇති අතර, ජූලි 8 වැනිදා සිට මාස 12ක කාලයක් ඇතුළතදී මෙම අත්පත් කරගැනීම සිදු කරගන්නා බවත් පැවසෙයි.

Visits: 912