ළමා මන්දපෝෂණය 10%කින් අඩු කිරීමට කලාපීය වැවිලි සමාගම් වෙතින් නව ප්‍රජා ව්‍යාපෘති

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට බොහෝ ප‍්‍රජාවන් දැඩි බලපෑමකට ලක් වීමත් සමඟ වතුකරයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්වය ඉහළ නැංවීම සහතික කිරීම සඳහා සිය සාමාජිකයින් දරන කැපවීම පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවතත් අවධාරණය කරයි.

මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම උදෙසා කලාපීය වැවිලි සමාගම්වලට (RPC) අයත් වතුවල පෝෂණය ඉහළ නැංවීම පිළිබඳ ව්‍යාපෘති 60ක් ක‍්‍රියාත්මක කිරීම තුළින් 2021 අවසන් වන විට ක්ෂේත‍්‍රයේ සාමුහික අරමුණ වන්නේ වතුකරයේ ජීවත් වන ළමුන්ගේ මන්දපෝෂණ තත්වය 10%කින් අඩු කිරීමයි.

වතුකරයේ ජනතාව මුහුණ දෙන පෝෂණ මට්ටම් අඩු වීම හා රක්තහීනතාව වැනි රෝග පිළිබඳව දැඩිව අවධානය යොමු කරමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා ප‍්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) මෙහෙයවීම යටතේ මේ වන විට ව්‍යාපෘති කිහිපයක් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ජනවිකාශය හා සෞඛ්‍ය පිළිබඳ නවතම සමීක්ෂණයට (2016) අනුව වැවිලි ක්ෂේත‍්‍රය තුළ විවිධ සෞඛ්‍ය පැතිකඩයන්හි විශාල දියුණුවක් ලබා තිබුණද මෙරට වතුකරයේ සිටින වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ වයසට සරිලන උස හා බර අඛණ්ඩව අවම මට්ටමක පවතින බව පෙන්වා දෙයි. මීට සමානව වතුකරයේ සිටින අඩු බර ළමුන්ගේ සංඛ්‍යාව 26.6%ක් වන අතර එය පිළිවෙලින් 21%ක් හා 16%ක් වන ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශවල සිටින ළමුන් සංඛ්‍යාව සමඟ සැසඳීමේදී ඉහළ අගයක් ගනී.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ‘‘වතුකරයේ පවතින සෞඛ්‍ය හා පෝෂණ ගැටලූ අප හඳුනා ගෙන තිබෙන අතර ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. වියදම කුමක් වුවත් අපගේ වතුවල සේවය කරන වතු කම්කරුවන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සහ ඔවුන්ට පෙර සිටි අයට වඩා හොඳ පහසුකම් වෙත ප‍්‍රවේශ වීමට අවස්ථාව ඇති බව සහතික කිරීමට අප කැපවනවා.’’

‘‘අප ලබා ඇති ඍජු අත්දැකීම් හා PHDT සමඟ අප කටයුතු කරන නිසා වතුකරයේ ජනතාව අතර පවතින ආහාර සංස්කෘතිය මෙම ගැටලූවේ ප‍්‍රධාන කොටසක් බව අප දන්නවා. වතු කම්කරුවන් ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමට මැලි බවක් දක්වන අතර සාමාන්‍යයෙන් ඔවුන් යකඩ ඌණතාවයෙන් පෙළෙනවා. මේ නිසා විවිධ ආහාරවල ඇති පෝෂණ ගුණය පිළිබඳව අපගේ සියලූම සේවකයින්ව දැනුවත් කිරීමටත්, දිනපතා ඔවුන්ට සමබල ආහාර වේලක් ලබා දීමටත් අප කැපවී සිටිනවා. දක්ෂ හා නිරෝගී ප‍්‍රජාවක් සමඟින් උපරිම ධාරිතාවකින් වැඩ කිිරීම  ඕනෑම රටකට ශක්තියක් වගේම වැදගත් වනවා.’’ යනුවෙන් පැවසුවේය.

වතු ක්ෂේත‍්‍රයේ පවතින පෝෂණ ගැටලූ පාලනය කිරීම සඳහා පූර්ණ ප‍්‍රවේශයක් අවශ්‍ය බව අවබෝධ කරගත් PHDT ඒ සඳහා ක්ෂේත‍්‍රයේ ආහාර සංස්කෘතිය සමඟ මුල්බැස ගෙන ඇති ගැටලූවලට විසඳුම් සෙවීමට පටන් ගත්තේය. PHDT ට අනුව ආගමික හා සංස්කෘතික මතවාද හා තහනම් කිරීම් හේතුවෙන් වතු කම්කරුවන් ප‍්‍රමාණවත් තරම් ප්‍රෝටීන් හා බිත්තර ආහාරයට ගැනීම වළක්වන අතර එමගින් ක්ෂේත‍්‍රය තුළ මන්දපෝෂණ තත්වය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.

වහාම විසඳුම් ලබා දිය යුතු මෙම සෞඛ්‍ය ගැටලූවලට ප‍්‍රතිචාර වශයෙන් PHDT විසින් ‘ප‍්‍රජා මුළුතැන් ගෙවල්’ අටක් ආරම්භ කළ අතර එමගින් කම්කරුවන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද අඩු මිලට, පෝෂ්‍යදායී හා සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කළ ආහාර ලබා ගැනීමේ හැකියාව ඇත. ඉහළ දක්ෂතා ඇති පෝෂණවේදීන් උපදේශකයින් ලෙස මේ සඳහා බඳවා ගනු ලබන අතර වතු කම්කරුවන්ගේ සුවිශේෂී ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා ආහාර සැලසුම් නිර්මාණය කරනු ලබයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වතු කම්කරුවන්ට ආහාර පිළියෙල කිරීමේ හැකියාව ලබා දී ඇති අතර එමගින් වතුකරයේ වැඩි ජනතාවකට සහන මිලට ආහාර අලෙවි කිරීමට ද හැකිය.

‘‘අප දැනටමත් වතු හයක දියත් කර ඇති ‘ප‍්‍රජා මුළුතැන් ගෙවල්’ ව්‍යාපෘතිය අත්කර ගෙන ඇති සාර්ථකත්වය පිළිබඳව අපට ඉතා සතුටුයි. ඉදිරි වසරවලදී මෙම ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වනවා. වතු කම්කරුවන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමෙන් ඔබ්බට යමින් මෙම ප‍්‍රජා මුළුතැන් ගෙය යන සංකල්පය වතු කම්කරුවන් හා ප‍්‍රජාව තුළ සැබෑ හැඟීමක් ඇති කර ඇති අතර ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද ඔවුන්ව දිරිමත් කරනු ලබනවා.’’ යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, වතු කම්කරුවන් අතර ප්‍රෝටීන් බහුල හා යකඩ සහිත ආහාර පරිභෝජනය ඉහළ නැංවීමේ ප‍්‍රයත්නයක් ලෙස හතු වැනි ප්‍රෝටීන් බහුල ආහාර ඇතුළුව තමන්ගේ පරිභෝජනය සඳහා මස් පිණිස සතුන් ඇති කිරීම හා කාබනික වගාවන් ආරම්භ කිරීමට PHDT විසින් වතු කම්කරුවන් දිරිමත් කර ඇත. මෙම ගෙවතු වගා ව්‍යාපෘති මඟින් වතු කම්කරුවන්ට ඔවුන්ගේ අතිරික්ත නිෂ්පාදන විකිණීමට හැකියාව ලැබෙන අතර එමඟින් ඔවුන්ගේ සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කරන අමතර ආදායම් මාර්ගයක් ලෙස එය ක‍්‍රියා කරනු ඇත.

තවද ආරක්ෂිතව පිරිසිදු පානීය ජලය වෙත ප‍්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුව සමඟ එක්ව ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් තෝරාගත් වතු සමාගම්වල මෙගා ව්‍යාපෘති 40 ක් හරහා පවුල් 15,000ක පමණ ආසන්න වශයෙන් 60,000ක ජනතාවකට ආරක්ෂිත පානීය ජලය ලබා ගත හැකිය.

”වතු ක්ෂේත‍්‍රයේ ඇති මන්දපෝෂණය වැනි ගැටලූවලට මූලික හේතු පිළිබඳව සොයා බලන විට මෙම ආයෝජනයේ ඇති ධනාත්මක බලපෑම අපට දැනටමත් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් පසුව වාර්තා වූ පාචන රෝග තත්වයන් විශාල ලෙස අඩු වුනා. තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමෙන් වැවිලි ක්ෂේත‍්‍රයේ සිටින සියලූම වතු කම්කරුවන්ට රටේ සෙසු ජනතාව මෙන් පෝෂ්‍යදායී ආහාර හා සාධාරණ සෞඛ්‍ය සේවාවක් වෙත ප‍්‍රවේශ වීමට සමාන අවස්ථාවක් ලැබේවි.” යනුවෙන් PHDT සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගුණසේකර මහතා පැවසුවේය.

Visits: 126