ඉෂාරගේ LOLC අනුග්‍රහයෙන් කෙන්යාවේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව

කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ LOLC සමූහ ව්‍යාපාරය එක්ව එම මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී බුද්ධ ප්‍රතිමාවක් විවෘත කිරීම පසුගියදා සිදු වූ බව එම තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරුන් අතින් ඉකුත් ජූලි 14 වනදා මෙම බුද්ධ ප්‍රතිමාව විවෘත කෙරී තිබේ. කෙන්යාව තුළ ප්‍රසිද්ධ ස්ථානයක පිහිටුවා ඇති පළමු බුද්ධ ප්‍රතිමාව වන්නේද මෙයයි.

මෙහිදී අදහස් දක්වා ඇති මහකොමසාරිස්වරයා , “කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක දී බුද්ධ ප්‍රතිමාවක් පළමු වරට ස්ථාපනය කිරීම සුවිශේෂී අවස්ථාවක්. කෙන්යාවේ දී අපගේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සම්බන්ධයෙන් එය අපගේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව පිටුවක් පෙරළනවා.” යනුවෙන් පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති තානාපතිවරයා, “මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදීම මෙලෙස බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීමට ලැබීම භාග්‍යයක්. මෙම පින්බර අවස්ථාව සඳහා අනුග්‍රහය දැක්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ එල්ඕඑල්සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතාට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා යනුවෙන් පවසා තිබේ.”

මෙහිදී තානාපතිවරයා මෙම බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීමට කෙන්යානු රජයේ බලධාරීන්ගෙන් ලැබුණු පූර්ණ සහයෝගය හා අනුග්‍රහයන් සිහිපත් කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහ කොමසාරිස්වරයා, “බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම මඟින් සියලු ප්‍රජාවන්ට, රටවලට සහ ලෝකයට බොහෝ දුරට අවශ්‍ය වූ සාමය හා සමගිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උදාර ඉගැන්වීම් අපගේ මනසට නිරන්තරයෙන් සිහිපත් කරවනවා. ජීවිතයේ ඒකීය බව අත්විඳින තැනැත්තා තමා සියලු ජීවීන් තුළත්, සියලු ජීවීන් තමා තුළත් අපක්ෂපාතී ඇසකින් දකින්නේ කියලා බුදු රජාණන් වහන්සේ වදාළා.” යනුවෙන්ද පවසා තිබේ..

සුප්‍රසිද්ධ කෙන්යානු ශ්‍රී ලාංකික සමාගමක් වන මේලීන් සමූහය විසින් මෙම බුද්ධ මන්දිරය ඉදිකර තිබේ. කෙන්යාවේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ කෙන්යානු මිතුරන් මෙම අවස්ථාව සඳහා සහභාගී  වූ බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.

Visits: 398