දිලිත්ගේ Steuart Tea තේ සැකසුම් හා ඇසුරුම්කරණ කර්මාන්තශාලාව දෙසැම්බරයේ සූදානම්ලු

මෙරට පැරණිතම සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම යටතේ ක්‍රියාත්මක Steuart Tea සමාගම වෙනුවෙන් ඉදිවන නවතම තේ සැකසුම් හා ඇසුරුම්කරණ කර්මාන්තශාලාවේ කටයුතු මේ වනවිට ලහි ලහියේ සිදුවෙමින් පවතින බව එම සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා පවසයි.

එම කර්මාන්තශාලාව ඉදිවන පරිශ්‍රයේදී ලබාගත් ඡායාරුප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසය වනවිට මෙම Steuart Tea කර්මාන්තශාලාව මෙහෙයුම් සඳහා සූදානම් කළ හැකි බව ඔහු සඳහන් කර තිබේ.

“ලබන දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම සහ නවීනතම තේ සැකසුම් සහ ඇසුරුම් කර්මාන්තශාලා අතරින් එකක් විදියට මෙය සූදානම් කළ හැකි වේවි.” ඔහු පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී දිලිත් ජයවීර මහතා අතින්ම මෙම පරිශ්‍රය ඉදිකිරීම සඳහා වන මුල් ගල් තැබීම සිදු විය.

කැළණිමුල්ල ප්‍රදේශයේ ඉදිවන මෙම කර්මාන්තශාලාව සඳහා ආයෝජනය ඩොලර් මිලියන 10ක් බව පැවසෙයි.

ශ්‍රී ලංකාවේ පැරණිතම සමාගම ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම පසුගිය වසරේදී අවුරුදු 185ක් සැපිරීය. ඒ අනුව මේ වසරේදී මෙලෙස තවත් වැදගත් පියවරක් ඉදිරියට තැබීමට හැකිවීම බලවත් සතුටක් බවද එම අවස්ථාවේදී ඔහුගේ අදහස වී තිබේ.

Visits: 713