තනිපුද්ගල ආයෝජකයන්ගේ සහභාගිත්වයේ කැපී පෙනෙන වර්ධනයක්

අද (ජූලි 15) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිටපිට හත්වැනි දිනටත් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී තනිපුද්ගල ආයෝජකයන්ගේ සහභාගිත්වයේ කැපී පෙනෙන වර්ධනයක්ද පෙන්නුම් කර තිබේ.

මේ අතර වටිනා සමාගම්වල කොටස් අගයන් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් කලක් පාඩුලබමින් තිබූ හෝටල් අංශයේ සමාගම්හි ක්‍රියාකාරකම් සහ වටිනාකම් තවදුරටත් ඉහළ යාම සිදුව තිබේ. එසේම මාස පහකට පසුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකයේ විචලන අගය යළිත් 8,000 සීමාවකට ළගා වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,945.11ත් ඒකක 8,004.08ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,986.45ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 14) දිනයට සාපේක්ෂව ඒකක 47.10ක් එනම් +0.59%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සහ ෂාලිමාර් (මැලේ) පීඑල්සී කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 2.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 131ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 60ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+10.43), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+8.32), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+5.92), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.48), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+3.88), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-21.77), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-1.63), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-1.28), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (-0.95), වැලිබල් වන් පීඑල්සී VONE (-0.77යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,031.32ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 14දා) ‍ට සාපේක්ෂව ඒකක 19.15 ක එනම් +0.64%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.94ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 14දා) වාර්තා කළ රුපියල් බිලියන 2.05ට සාපේක්ෂව 5.6% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ ඉහළම ගැනුම්කරුවන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.54ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.52%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 114.09ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 103.66ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.42කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.90ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 99.80 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 34.82ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 399ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 21%කි. එසේම ආහාර, පානවර්ග හා දුම්කොළ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 377ක සහ රුපියල් මිලියන 280ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 158