ජූනි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යාමක්

ජූනි මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගයන් ඊට පෙර මාසයට සාපේක්ෂව ඉහළ යාමක් සිදුව තිබෙන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මේ අතරින් ජූනි මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 50.4ක් ලෙස සටහන්ව ඇති අතර, එය මැයි මාසයේදී වාර්තා කළ දර්ශක අගයට සාපේක්ෂව 8.3ක ඉහළ යෑමකි.

“කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇති වූ අහිතකර බලපෑම යම් පමණකින් සමනයවීමක් පෙන්නුම් කරමින් ජූනි මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු ප්‍රගමනයක් දක්නට ලැබුණි.”මහ බැංකුව පවසයි.

මෙහිදී නව ඇණවුම් උප දර්ශකයෙහි සිදු වූ සැලකිය යුතු ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. එසේම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ යාමක් සිදුව තිබේ.

“විශේෂයෙන්ම ආහාර හා පානවර්ග නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම් සැලකිය යුතු ලෙස ඉහළ යන ලදි. කෙසේ වුවද ජූනි මාසය තුළදී රෙදි පිළි සහ ඇගලුම් අංශයෙහි පහත වැටීම එම අංශයට අදාළව නව ඇණවුම් සේවා නියුක්තිය සහ තොග මිලදි ගැනුම් යන උප දර්ශක තවදුරටත් පහළ යාම තුළින් පිළිබිඹු විය.” මහ බැංකුව පවසයි.

එසේම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය අඩුවීම කෙරෙහි දේශීය වශයෙන් සංචරණ සීමා ලිහිල් කිරීම හේතු වී තිබේ.

මේ අතර සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේදී 51.3ක දර්ශක අගයක් වාර්තා කර තිබේ. එය මැයි මාසයට සාපේක්ෂව දර්ශක අගයේ 11.8ක ඉහළ යාමකි. එම දර්ශකය අඛණ්ඩව මාස දෙකක් පහත වැටීමෙන් අනතුරුව මෙම අගයට පත්ව තිබීමත් විශේෂත්වයකි.

මෙම වර්ධනය සඳහා සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව පවසයි.

“ප්‍රධාන වශයෙන් අධ්‍යාපන සහ මූල්‍ය සේවා යන උප අංශවල දක්නට ලැබුණු ඉහළ යෑම් සමග, නව ව්‍යාපාර උප දර්ශකය 2021 මැයි මාසය හා සසඳන විටජූනි මාසෙය්දී වර්ධනය විය. එසේ වුවද තොග හා සිල්ලර වෙළෙඳාම, නවාතැන් හා ආහාරපාන සැපයීම සහ අනෙකුත් පෞද්ගලික සේවා යන උප අංශවල පහළ යෑම් දක්නට ලැබුණි.” යනුවෙන්මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර ජූනි මස අග වන විට සංචරණ සීමා ලිහිල් කිරීමට සමගාමීව ව්‍යාපාර ක්‍රියාකාරකම්හි උප දර්ශකය වර්ධනය වී තිබේ. ඒ අනුව රක්ෂණ, අධ්‍යාපන,වෘත්තීය සේවා සහ ප්‍රවාහනයන උප අංශ වර්ධනය වී තිබේ. එසේ වුවද වසංගතයේ තෙවන රැල්ල හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම පහත වැටීම මධ්‍යයේ තොග හා සිල්ලර වෙළෙඳාම, අනෙකුත් පෞද්ගලික සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම සහ දේපළ වෙළෙඳාම යන උපඅංශ අඛණ්ඩව පහත වැටී තිබේ.

Visits: 111