සංගා සහ මහේල Providore සමගින් ඔන්ලයින් ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි ව්‍යාපාරයටත් පිවිසෙයි

මෙරට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එක්ව එක්ව ආරම්භ කළ බොහෝ සාර්ථක ව්‍යාපාරවලින් අනතුරුව නවතම ව්‍යාපාරය ලෙස අන්තර්ජාලය හරහා ග්‍රොසරි භාණ්ඩ ඇනවුම් ලබා ගැනීම සහ ප්‍රවාහනය සිදු කරන ව්‍යාපාරය වෙතත් පිවිස ඇතැයි පවසයි.

මෙම ව්‍යාපාරය Providore නමින් නම් කෙරී ඇත. ඒ අනුව ඔවුන් දෙපලගේ නවතම ආයෝජනය බවට මෙය පත්ව තිබේ.

වසර ගණනක් පුරා විදෙස් රටවල සංචාරය කරමින් එම රටවල ක්‍රියාත්මක මෙවැනි ආකාරයේ අන්තර්ජාල ග්‍රොසරි භාණ්ඩ ප්‍රවාහන සේවාවන්හි අත්දැකීම් සමගින් එම සේවාවන් මෙරට වෙත හඳුන්වාදීමේ අරමුණින් Providore ආරම්භ කළ බව ඔවුන් පවසයි.

මෙහිදී අදහස් දක්වන කුමාර සංගක්කාර‍ මහතා, “කොවිඩ් නිසා අපගේ ජීවිත ගොඩක් වෙනස් වෙලා තිබෙනවා. නිවසේ සිට වැඩ කිරීම, දුරස්ත අධ්‍යාපනය, වීඩියෝ ඇමතුම් අද එදිනෙදා ජිවිතයේ අංග වෙලා. එකිනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් මූලික පියවර ගැනීම අත්‍යවශ්‍ය මොහොතේ, මේ ආකාරයට වඩාත් සුරක්ෂිත විශ්වාසවන්ත අන්තර්ජාල ග්‍රොසරි ෂොපිං සේවාවක් ශ්‍රීලංකාවට හඳුන්වාදීම වඩාත් වැදගත් වෙනවා. ඒවගේම ඉතාමත් සුවිශේෂී සේවාවක් වගේම පාරිභෝගික අත්දැකීමක් ලබාදීමත් මෙහිදී මූලිකයි. අපි අපගේ ආරම්භක හවුල්කරුවන්ද සමගින් එක්ව අපේ රටේ අන්තර්ජාලය හරහා සිදු කරන ග්‍රොසරි භාණ්ඩ මිලදී ගැනීම සහ ඩිලිවරි සේවාවන් අලුත් කරන්න පියවර ගෙන තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙම සේවාව සඳහා ලබා දී තිබෙන ඇප් වැඩසටහන ශ්‍රී ලාංකික වෙළෙඳ පොළ වෙත ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කරවූවක් බව පැවසෙයි. එහිදී උදාහරණ ලෙස ඇනවුම් යොදන අවස්ථාවේදී තොග පවතින  භාණ්ඩ මොනවාද යන්න නිවැරදිව පෙන්නුම් කිරීමත්, සති හතරකට පෙරාතුව ඇනවුම් ලබා දීමේ හැකියාවත්, පැය දෙකක් ඇතුළත සිදු කරන වේගවත් ඩිලිවරි සේවාවත් මෙන්ම විවිධාකාරයේ ගෙවීම් ක්‍රම තිබීමත් මෙහිදී සුවිශේෂී වෙයි. එසේම එකිනෙකට වෙනස් භාණ්ඩ (ශීත කළ ආහාර) වුවද බෙදාහැරීමේ හැකියාව මෙම Providore සතු බව පවසයි.

එහිදී මෙතෙක් නොවිදි පාරිභෝගික අත්දැකීමක් සහ සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් Providore සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Providore හි සම නිර්මාතෘවරයෙකු වන මහේල ජයවර්ධන මහතා, “ඔන්ලයින් ග්‍රොසරි භාණ්ඩ මිලදීග ැනීම අපගේ ජීවිත වඩාත් ආරක්ෂිත වගේම පහසුකරවනවා. එහෙත් අපි මතක තියා ගන්න ඕනේ මේ ආහාර කියන දේ. ඒවා හොඳඳින් ගබඩා කරමින්, හොඳින් හසුරුවමින්, ප්‍රවාහනය කරමින් අවසානයේදී ඔබ අතට පත් කළ යුතුයි. ඒ අතින් ගත්තහම අපගේ මෙම සේවාව තුළ ඒ සියලු දේ ඇතුළත්.” යනුවෙන් පවසා ඇත.

සංගක්කාර සහ මහේල දෙපළට අමතරව මෙම Providore සඳහා සම්බන්ධව සිටින අනෙකුත් හවුල්කරුවන් අතර තොරතුරු තාක්ෂණය, ආහාර හා පානවර්ග සහ ආගන්තුකසත්කාර, සිල්ලර වෙළෙඳාම සහ මූල්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ අත්දැකීම් සපිරි පිරිසක් සිටින බවත් පවසයි. මෙහිදී අවශ්‍ය තාක්ෂණික විසඳුම් මෙරට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉ-වානිජ සහ තාක්ෂණික සේවා සම්පාදකයන් හා එක්ව ගොඩනගා තිබේ. එසේම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් (JKL) මෙම සේවාවේ පසුපස භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සඳහා හවුල්කාරීත්වය දක්වයි.

රාජගිරියේ පිහිටි වර්ග අඩි 20‍්,000ක විශාලත්වයකින් යුත් ගබඩා සංකීර්ණයක් මගින් මෙම Providore සේවාව ආරම්භ කර තිබේ. එය අද වනවිට මධ්‍යම සහ මහකොළඹ ප්‍රදේශය ආශ්‍රිතව පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා වසරේ 365 දවසේම සිය සේවාවන් ලබා දෙන බවත් පවසයි.

Visits: 444