ටයිල් සමාගම් සහ එක්ස්පෝ ලංකා දිනයේ ගනුදෙනු සඳහා ඉහළ දායකත්වයක් දෙයි

අද (ජූලි 12) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ පසුගිය සිකුරාදා (09දා) පැවැති ඉහළ ගැනුම්බරතාවයෙන්ම ක්‍රියාත්මක බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී ටයිල් සමාගම් මෙන්ම එක්ස්පෝ ලංකා සමාගමත් දිනයේ ඉහළ ගනුදෙනු පෙන්නුම් කර තිබේ. එසේම අද දිනයේදී ඉහළ ආයෝජක සහභාගිත්වයක්ද දැකගත හැකි වූ බවද එම සමාගම් සඳහන් කරයි.

කෙසේ වෙතත් අඩු කොටස් ප්‍රමාණයක් සහිත NIFL හි කොටස් වටිනාකම් අඩුවීම දිනයේ පසු අවස්ථාවේදී දර්ශක වෙත යම් බලපෑමක් එල්ල කර ඇත. මීට අමතරව මූල්‍ය අංශයේ සමාගම් තුළ සැලකිය යුතු මට්ටමේ විදේශ ආයෝජන පිටතට ගලායෑමක්ද දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,850.29ත් ඒකක 7,895.03ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,866.47ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූලි 09) දිනයට සාපේක්ෂව ඒකක 14.28ක් එනම් +0.18%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු පීපල්ස් ලීසිං ඇන්ඩ්ෆිනෑන්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, ඇලුමෙක්ස් පීඑල්සී, සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 23%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 122ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 57ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+6.62), වැලිබල් වන් පීඑල්සී VONE (+4.37), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+4.28), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.81), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+3.42), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-18.54), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-3.72), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.98), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.88යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,987.75ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 09දා) ‍ට සාපේක්ෂව ඒකක 8.74 ක එනම් 0.29%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජූලි 09දා) වාර්තා කළ රුපියල් බිලියන 3.45ට සාපේක්ෂව 34% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.48ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.63%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 75.57ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 726.58ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 651.01කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.12ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.53 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 234.44ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 359ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 16%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 356ක සහ රුපියල් මිලියන 315ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 354