ආරුගම් බේ හි සංචාරක ව්‍යාපාරය වර්ධනයට ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සුබවාදී මැදිහත් වීමක්

මුහුදු වෙරළ හා සාගරය යනු බොහෝ මිනිසුන්ට පීඩාකාරී ජීවිතයෙන් මිදී සැනසීම ලැබිය හැකි කදිම ස්ථාන වේ. මුහුදේ පිහිනීමේ සිට මුහුදු ජීවින් පිළිබඳව ගවේෂණය කිරීම දක්වා හෝ තෙත මුහුදු වැලි මත ඇවිදීම දක්වා කෙනෙකුට එමගින් මහත් ආශ්වාදයක් ලබා ගත හැකිය. කෙසේවෙතත් මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු වෙරළ හා සාගරය දුෂණය වන විට මෙම සතුට භුක්ති විඳීම ගැටළු සහගතය.

ධීවර කර්මාන්තය, වැරදි ලෙස කළමනාකරණය කරන ලද වරාය මෙහෙයුම් කටයුතු හා සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටළුවලට බහුල වශයෙන් දායකත්වයක් දක්වන කරුණු බව 2020 දී Marine Pollution Bulletin වෙත ඉදිරිපත් කරන ලද අධ්‍යයනයකින් හෙළි විය. මෙම වැරදි ක‍්‍රියා ආපසු හැරවීම මගින් අවිධිමත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය අවම කිරීමට හා එයට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන පුද්ගලයින් හා සංවිධාන තිබේ.

Waste Less Arugam Bay (WLAB) යනු හරිත හා තිරසාර සංචාරක ගමනාන්තයක් බවට ආරුගම් බේ පත් කිරීමට අවධානය යොමු කර ඇති එක් ආයතනයකි. 2018 දී ආරම්භ කරන ලද WLAB හි නිර්මාතෘ හා අධ්‍යක්ෂ වන හෙන්ද්‍රික් කොන්සොක් මහතා බත් හා වෑංජන සෑදීමේ ව්‍යාපාරයක් සහ ලී, කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු, කාඞ්බෝඞ් වැනි ඉවත දමන ද්‍රව්‍යවලින් බෑග් හා විලාසිතා ආයිත්තම් ආදිය නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. මේ කාලය තුළ ආරුගම් බේ සිටි ව්‍යාපාරික ආයතන හා සංචාරකයින් ඔහුට යෝජනා කළේ ඉවත දමන ප්ලාස්ටික් බෝතල්වලින් ද නිර්මාණ සිදු කරන ලෙසයි.

ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැදගත්කම හෙන්රි හා ඔහුගේ කණ්ඩායමට අවබෝධ විය. පසුව WLAB නිසි ලෙස බැහැර නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමට හා ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කටයුතු කළේය. ”ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලූවට වැඩි දායකත්වයක් ලබා දෙන අංශයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. ආරුගම් බේ හි ප්ලාස්ටික් දුෂණය වැඩිවීමට හේතුව වන්නේ සංචාරකයින්ගේ පරිභෝජනය සඳහා වතුර බෝතල් අවශ්‍යතාවය ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් හෙන්ද්‍රික් පැවසුවේය.

තවද කොවිඞ්-19 වසංගතය ව්‍යාප්ත වීමට පෙර දිනකට සංචාරකයින් 5000 කට වැඩි සංඛ්‍යාවක් ආරුගම් බේ වෙත සංචාරය සඳහා පැමිණි බව ද ඔහු සඳහන් කළේය. එහිදී වගකීම් විරහිතව ඉවත දමන ලද PET ප්ලාස්ටික් බෝතල් 5000-15,000 ක් පමණ සංඛ්‍යාවක් පාර දෙපසින් හා ජල මාර්ගවලින් සොයා ගැනීමට හෙන්රිගේ කණ්ඩායමට හැකි විය. කොවිඞ්-19 වසංගතය නිසා ආරුගම් බේ ප‍්‍රදේශය තුළ ඉවත දමන PET ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය ප‍්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති අතර දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ දැඩි පසුබෑමක්ද තිබුණි.

 WLAB හට අයත් ට‍්‍රක් රථයක් සෑම දිනකම ආරුගම් බේ ප‍්‍රදේශය පුරාවට ඇති ප්ලාස්ටික් එකතු කිරීම සඳහා යොදවා ඇත. පසුව එකතු කරගන්නා ලද අපද්‍රව්‍ය සම්පීඩනය කිරීම සඳහා සම්පීඩනය කිරීමේ පහසුකම වෙත නැවත රැගෙන එනු ලබන අතර ඉන්පසුව ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ලස් වෙත ඒවා යවනු ලැබේ. හෙන්රි මෙන්ම අනෙකුත් එකතු කරන්නන් ද ඉකෝ ස්පින්ඞ්ල්ස් වෙත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලබා දීමෙන් අදායමක් උපයා ගනු ලබයි. ‘‘WLAB යනු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලූව සඳහා මැදිහත් වී ක‍්‍රියාකරන සමාගමක්. අපට අවශ්‍ය වන්නේ කසළ කළමනාකරණය පිළිබඳව සංචාරකයින්ව දැනුවත් කිරීමටයි. එවිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමේ වැදගත්කම ගැන ඔවුන්ට ද අවබෝධයක් ලැබෙනවා. දැනුවත් කිරීම හරහා මිනිසුන්ගේ හැසිරීම වෙනස් කළ හැකි ව්‍යාපාරයක තමයි අප කටයුතු කරන්නේ.’’ යනුවෙන් හෙන්ද්‍රික් පැවසුවේය.

ප‍්‍රවාහනයට පෙර බෝතල් තෙරපා සංකෝචනය කරන ආකාරය සංචාරකයින්ට පෙන්වනු ලැබේ. ඒවගේම සර්ෆ්බෝඞ් වැක්ස් කිරීමට ගන්නා උපකරණ හා කී ටැග් (key tags) වැනි නිෂ්පාදන සෑදීම සඳහා WLAB පහසුකමේ ඇති යන්ත්‍රෝපකරණ භාවිතා කිරීමට ද සංචාරකයින්ට ආරාධනා කරනු ලැබේ. මේවා තීරුවලට ඉරන ලද හා උණු කරන ලද ප්ලාස්ටික් බෝතල් පියන්වලින් සාදනු ලබන අතර එමගින් ඉවත දමන ප්ලාස්ටික්වලට වටිනාකමක් නිර්මාණය වී ඇත.

ඔවුන්ගේ මෙහෙවර සංචාරකයින්ව දැනුවත් කිරීමෙන් පමණක් නොනවතී. සංචාරකයින්ට ඔවුන්ගේ වතුර බෝතල් නැවත පිරවිය හැකි ජලය පෙරීමේ පද්ධතියක් ද WLAB හි ඇත. මෙහිදී බෝතලයකට නැවත වතුර පිරවීමෙන් තවත් එක් PET බෝතලයක් නිෂ්පාදනය කිරීමට වැය වන වතුර ලීටර් 7ක්, තෙල් ග‍්‍රෑම් 200ක් සහ අවශ්‍ය අනෙකුත් සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමට හැකි වන බව පෙන්වා දේ.

ආරුගම් බේ ප‍්‍රදේශය තුළ වටිනාකමක් නිර්මාණය කිරීමට WLAB විසින් සිදු කරනු ලබන මෙහෙය අවබෝධ කරගත් ඉකෝ ස්පින්ඞ්ල්ස් සමාගම විශාල ප‍්‍රමාණයේ බෑග් සෑදීම සඳහා WLAB හට ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් ආදිය ද සපයා දෙනු ලබයි. ”අප තවමත් නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ මට්ටමේ සිටියද, පරීක්ෂා කිරීම සඳහා අපට පොලියෙස්ටර් නූල් ලබා දීම ගැන ඉකෝ ස්පින්ඞ්ල්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා. මේ තුළින් නවාතැන් පොළවල හා ග‍්‍රාමීය මට්ටමේ කර්මාන්ත කුසලතාවන් සඳහා රැකියා උත්පාදනය කිරීමටත්, ජීවනෝපායන් ඉහළ නංවා ගැනීමටත් අවස්ථාවන් සලසා දී තිබෙනවා.” යනුවෙන් හෙන්ද්‍රික් මහතා ප‍්‍රශංසනාත්මකව සඳහන් කළේය. ඉවත දමන ප්ලාස්ටික් භාවිතා කරමින්, ඉකෝ ස්පින්ඞ්ල්ස් වටිනාකම් එකතු කළ නිෂ්පාදන නිපදවනු ලබයි. මෙම සමාගම ජාත්‍යන්තර මට්ටමේ රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා පොලියෙස්ටර් නූල් සහ ලොව විශාලතම බුරුසු නිපදවන සමාගම් කිහිපයකට මොනෝෆිලමන්ට් නිෂ්පාදනය කිරීම ද මීට ඇතුළත් වේ.

Pristine Ocean සහ Empower.eco යන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමෙන් ප්ලාස්ටික් සඳහා මුදල් ලබා දීමේ පද්ධතියක් පිහිටුවීම හරහා නවීන ආකාරයට ප්ලාස්ටික් දුෂණයට එරෙහිව සටන් කිරීමට ද WLAB අවධානය යොමු කර තිබේ. ප්ලාස්ටික්වලින් ශුන්‍ය ආයතනයක් බවට පත් වීමට කැමති ප්ලාස්ටික් පියසටහනක් ඇති ලොව  ඕනෑම සමාගමකට ඔවුන් පරිසරයට ප්ලාස්ටික් කිලෝ කොපමණ ප‍්‍රමාණයක් මුදා හරිනවාද යන්න පිළිබඳව මැනිය හැකියි. පසුව මෙම සමාගම්වලට පරිසරයෙන් මුදා හරිනු ලබන එම ප්ලාස්ටික් ප‍්‍රමාණයම අපගේ සමාගම වැනි සමාගම් හරහා මිලදී ගත හැකියි. මෙම මුදල්වලින් පසුව ආරුගම් බේ වෙරළ පිරිසිදු කිරීම වැනි වාණිජ මට්ටමේ ක‍්‍රියාකාරකම් සිදු කිරීමට අපට හැකියාව ලැබෙනවා.’’ යනුවෙන් හෙන්ද්‍රික් මහතා වැඩිදුරටත් පැවසුවේය.

 කසළ ආශ‍්‍රිත ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ විසඳුම් ලබා දෙන සංවිධානයක කතාව මෙයයි. මේ සඳහා වඩාත් ශක්තිමත් නීති සම්පාදනය කිරීමට පියවර නොගන්නේ නම් හෙන්රිගේ කණ්ඩායම දරන උත්සාහය නිෂ්ඵල වනු ඇත. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැරදි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව වගකිව යුතුය. ප්ලාස්ටික් එකතු කිරීම හා බැහැර කිරීම වැඩි දියුණු කිරීම සඳහා රජයන්ට සහ පළාත් පාලන ආයතනවලට නිසි යටිතල පහසුකම් තිබිය යුතු අතර සහ ඒ සඳහා දිරිදීමනා ලබා දීමද වැදගත් වේ. අප මේ පිළිබඳව මනා සිහිනුවණින් සිටිය යුතු අතර, ඒ සඳහා ඔබ ලබා දෙන සහයෝගය අපට ඉතා වැදගත් වේ!

Visits: 149