වාණිජ බැංකුවල අනවශ්‍ය වියදම් කපාහැරීම සඳහා වන මහ බැංකු උපදෙස් දැඩි වෙලාලු

මෙරට ක්‍රියාත්මක වාණිජ බැංකු මගින් සිදු කරන ‘අනවශ්‍ය’ වියදම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ලෙස අදාළ බැංකුවල නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව එම බැංකු වෙත දැනුම් දී ඇතැයි වාර්තාවෙයි.

ඒ අනුව පසුගිය මාසයේදී සහ මෙම මාසයේදී වාණිජ බැංකු විසින් සිදු කර ඇති වියදම් සම්බන්ධයෙන් වාර්තාවන් ලබා දෙන ලෙස මහ බැංකුව පවසා ඇතැයි තමන් වෙත කරුණු දැක් වූ ජ්‍යෙෂ්ට බැංකුකරුවෙකු පැවසූ බව මේ පිළිබඳව අනාවරණයක් ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ බිස්නස් ටයිම්ස් පවසයි.

එහිදී විශේෂයෙන්ම වසංගත අවස්ථාවේදී සිය අලෙවිප්‍රවර්ධන සඳහා වෙන් කරන මුදල් සහ අධ්‍යක්ෂවරුන් සඳහා සිදුකරන ගෙවීම් යනාදිය මෙලෙස ‘අනවශ්‍ය වියදම්’ ලෙස සඳහන් කරමින් මහ බැංකුව පසුගිය ජූනි මාසයේදී වාණිජ බැංකු වෙත ලබා දුන් උපදෙස් හා සමගාමීව මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී දැනටමත් මහ බැංකුව වාණිජ බැංකු විසින් සිදු කරන මෙවැනි වියදම් සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවෙන් සිටින බව බොහෝ බැංකු පුවත්පත වෙත ස්ථිරවම පවසා ඇත. ඒ අනුව මෙම මුදල් ව්‍යාපාර සහ ජනතාව වෙත ණයටදීම් වෙත යෙදවීම මහ බැංකුවෙහි අවශ්‍යතාව වී ඇතැයිද එම බැංකු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම වසංගතය හේතුවෙන් දැනටමත් බලපෑමට ලක්ව ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රය යළි උසවා තැබීම සඳහා වන ජාතික වැදගත්කම සහ මෙම වසංගතය නිසා රටෙහි ආර්ථිකය වෙත එල්ල වී ඇති බලපෑම පිළීබඳව අවධානය යොමු කරමින් මහ බැංකුව මෙම උපදෙස් ලබා දී ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව මහ බැංකුව විසින් මේවනවිට එම ක්‍රියාමාර්ග දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම් වෙත යොමුව ඇති බවත්, ද්‍රවශීලතා අර්බුද ඇතුළු කාරණා ඊට හේතුවක් වී තිබෙන බවත් පුවත්පත වෙත කරුණු දක්වා ඇති එම බැංකු නිලධාරියා පවසා ඇත.

එසේම මහ බැංකුව විසින් මෙලෙස බැංකු විසින් සිදු කරන අමතර වියදම් කිරීම් පාලනය සඳහා මෙවැනි ක්‍රියාමාර්ග යෝජනා කර ඇත්තේ මෙරට බැංකු පද්ධතියෙහි ස්ථාවරත්වය වෙනුවෙන් ඇතිවිය හැකි තර්ජනයන් සහ ආතති තත්ත්වයන් නැවැත්වීම සඳහා බවත් එම බැංකු නිලධාරියා පුවත්පත වෙත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 785