ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම අයිඩියල් ෆිනෑන්ස්හි තවත් කොටස් 20% ක් මිලට ගෙන

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම පසුගිය සතියේදී මෙරට අයිඩියල් සමූහයට සමාගමට අයත් අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ තවත් 20%ක කොටස් ප්‍රතිශතයක් මිලට ගත් බව පවසයි. ඒ අනුව මේ වනවිට එම සමාගම සතු අයිඩියල් ෆිනෑන්ස්හි කොටස් ප්‍රතිශතයත 58.2%ක් දක්වා ඉහළ නැග තිබේ.

ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත මගින් මේ පිළිබඳව වාර්තා කර තිබේ. මෙම පියවරත් සමගින්ම මෙරට අයිඩියල් ෆිනෑන්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා ෆිනෑන්ස් සමාගමේ පරිපාලිත සමාගමක් බවට පත්වී ඇත.. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි මහින්ද්‍රා ෆිනෑන්ස් යූඑස්ඒ, එල්එල්සී සමාගමට පසුව මහින්ද්‍රා ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගමේ දෙවැනි පරිපාලිත සමාගම බවටද පත්ව ඇත.

2019 වසරේ අගෝස්තු මාසයේදී මහින්ද්‍රා ෆිනෑන්ස් සමාගම අයිඩියල් ෆිනෑන්ස්හි කොටස් 38.2%ක් අත්කරගනිමින් ශ්‍රී ලංකාව වෙත පිවිසි අතර, මෙම අත්පත් කරගැනීම සඳහා වන ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 2ක් ලෙස සටහන්ව ඇත.

මෙහිදී  මූලිකවම අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ 51%ක කොටස් හිමිකාරීත්වයක් පැවැති අයිඩියල් මෝටර් සමාගම 25%ක කොටස් ප්‍රතිශතයක්ද, තනි පුද්ගල හිමිකාරීත්වයක් පැවැති විරාජ් මල්වාන මහතා සිය කොටස් 11.56%ක ප්‍රතිශතයක්ද මහින්ද්‍රා ෆිනෑන්ස් වෙත අලෙවි කර ඇත.

මහින්ද්‍රා ෆිනෑන්ස් සමාගමේ මෙම ආයෝජනයත් සමගින්ම ශ්‍රී ලංකාව මෙම මූල්‍ය ව්‍යාපාර අංශය තුළ වඩාත් උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක් බවට පෙන්නුම් කරන බව ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත පවසයි. එසේම මෙම ආයෝජනයත් සමගින්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ව්‍යාපාරය තුළ අයිඩියල් ෆිනෑන්ස් වෙත වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් පවතින බවද පුවත්පත සඳහන් කරයි.

අද වනවිට ඉන්දියාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතරින් ප්‍රමුඛ පෙළේ සමාගමක් වන මහින්ද්‍රා ෆිනෑන්ස් සමාගම සතුව ගනුදෙනුකරුවන් මිලියන 7.3කට අධික සංඛ්‍යාවක් සහ එක්සත් ජනපද ඩොලර් බිලියන 11කට අධික වත්කම් සතුව ඇත. එය අයත් මහින්ද්‍රා සමූහය අද වනවිට මෝටර් රථ, තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා යනාදී අංශ තුළ ව්‍යාප්තව ඇත.

මිට අමතරව පුනර්ජනනීය බලශක්ති, කෘෂිව්‍යාපාර, භාණ්ඩප්‍රවාහන සහ දේපළ සංවර්ධන යන අංශ තුළද එය ශක්තිමත්ව පවතී. අද වනවිට ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක සේවකයන් 256,000ක් මහින්ද්‍රා සමූහය යටතේ සේවය කරයි.

2012 වසරේදී පිහිටවුණු අයිඩියල් ෆිනෑන්ස් සමාගම මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමකි. එහිදී ග්‍රාමීය සහ අර්ධ නාගරික ව්‍යාපාර අංශ වෙත අවශ්‍යමූල්‍ය පහසුකම් ලබා දීම එහි මූලික අරමුණ වී තිබේ. එහිදී වාණිජ ට්‍රක් රථ, මෝටර් රථ, ත්‍රීවිලර් රථ , යතුරු පැදි මෙන්ම රන් ණය සහ පෞද්ගලික ණය යනාදිය එහි ණය කළඹෙහි ඇතුළත්ව ඇත.

මේ වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21මූල්‍ය වර්ෂයේදී අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ආදායමේ 9%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියනයක් වාර්තා කිරිමට සමත්විය. එසේම බදු පෙර ලාභය 76%කින් ඉහළ යමින් රුපියල් මිලියන 288.4ක් බවට පත්ව තිබේ. එසේම බදු පසු ලාභයත් රුපියල් මිලියන 184ක් ලෙස සටහන්ව ඇත.

Visits: 192