නව එකඟතාව යටතේ ඇමෙරිකානු සමාගමට දෙන්නේ යුගදනවි බලාගාරයෙන් 40%යි ලු

රජයට අයත් කෙරවලපිටියේ පිහිටි යුගදනවි ඉන්ධන විදුලි බලාගාරයෙන් 40%ක කොටස් ප්‍රතිශතයක් පමණක් ඇමෙරිකාවේ New Fortress Energy සමාගම අලෙවි කිරීමට මුදල් අමාත්‍යාංශය මූලික එකඟතාව අත්සන් තබා ඇතැයි වාර්තාවෙයි.

අද පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මේ පිළිබඳව වාර්තාවක් පළ කරමින් එම කරුණු අනාවරණය කරයි.

මීට පෙර යෝජනා වී තිබූ ආකාරයට එය යුගදනවි ඉන්ධන විදුලි බලාගාරයෙන් 51%ක කොටස් ප්‍රතිශතයක් අලෙවි කිරීමක් විය. එම පුවතද පළමුවරට අනාවරණය කෙරුණේ සන්ඩේ ටයිම්ස් පුවත්පත හරහායි.

මෙම නවතම එකඟතාවට අනුව New Fortress Energy සමාගම විසින් අක්වෙරල පාවෙන ද්‍රව ස්වාභාවික වායුව (LNG) යළිත් ස්වාභාවික වායුව බවට පත් කිරීමේ ගබඩා ඒකකයක් සහ ඩීසල් විදුලි බලාගාරයක් ලෙස ක්‍රියාත්මක යුගදනවි සහ ඉදිරියේදී කැලනිතිස්සේ පිහිටුවීමට යෝජිත LNG විදුලි බලාගාරයට අවශ්‍ය ද්‍රව ස්වාභාවික වායුව (LNG) සැපයුම් සිදු කරන නල පද්ධතියක් ඉදිකිරීමත් අයත් වන බව පැවසෙයි.

මීට පෙර පුවත්පත මගින් අනාවරණය කෙරුණු පුවතට අනුව, මෙම යුගදනවි බලාගාරයේ 51%ක කොටස් ප්‍රතිශතයක් එක්සත් ජනපද සමාගමක් වෙත අලෙවි කිරීම සඳහා වන අනුමැතිය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි.

මෙම එකඟතාව යටතේ රජය විසින් එම ඇමෙරිකානු සමාගම වෙත මෙරට ක්‍රියාත්මක සියලුම LNG බලාගාර වෙත අවශ්‍ය ද්‍රව ස්වාභාවික වායුව වසර පහක් සඳහා සැපයුමට අදාළ කොන්ත්‍රාත්තුවද පැවරීමට නියමිතව තිබූ බව පැවසෙයි.

කෙසේ වෙතත් මෙම නව එකඟතාව යටතේ මුදල් අමාත්‍යාංහය මගින් අදාළ බලාගාරයේ 40%ක කොටස් ප්‍රතිශතයක් පමණක් ඇමෙරිකානු සමාගම වෙත අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

ඇමෙරිකාවේ New Fortress Energy සමාගමත් මෙම එකඟතාව පිළිබඳව කරුණු ස්ථිර කර තිබේ. “මෙම එකඟතාවයේ කොටසක් යටතේ, New Fortress Energy සමාගම මගින් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් දැනට ක්‍රියාත්මක යුගදනවි බලාගාරය වෙත ස්වාභාවික වායුව සැපයුම් සිදු කරනු ඇති. එසේම එම බලාගාරය හිමි රජයට අයත් කොටස් අතරින් 40%ක් අප සමාගම විසින් මිලදී ගන්නවා.” යනුවෙන් එම සමාගම පවසා තිබේ.

කෙසේ වෙතත් මෙලෙස යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමක් වෙත පැවරීම ශ්‍රී ලංකාව වෙත බරපතල ලෙස හානිදායක වන බව ඊට විරෝධය දක්වන ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටින බව පුවත්පත පවසයි.

Visits: 237