HNB රු.බිලියන 7ක ණයකර නිකුතුවට CSE අනුමැතිය, විවෘත කිරීම ජූලි 15දා

හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් ලැයිස්තුගත කිරීමට යෝජනා කර තිබූ රුපියල් බිලියන 7ක් වටිනා ණයකර නිකුතුවට කොළඹ කොටස් හුවමාරුව සිය අනුමැතිය ලබා දී ඇතැයි පවසයි.

එසේම මෙම ණයකර මිලදී ගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍ර විවෘත කිරීම ලබන ජූලි 15 වැනිදා සිදු වන බවත් හැටන් නැෂනල් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා රැස් වුණු හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ණයකර නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණි. එහිදී අදාළ ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම එහි ‍කොටස්හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවීමට නියමිතව තිබුණි.

බාසෙල් III සම්මුතියට අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ.

ඒ අනුව මෙහිදී පළමු අදියර ලෙස ඉහත සඳහන් ආකාරයට බාසෙල් III සම්මුතිය අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කරන බව හැටන් නැෂනල් බැංකුව සඳහන් කරයි.

වසර 10කදී (2021/31) නැවත මුදවා ගත හැකි ණයකර ලෙස නිකුත් කෙරන මෙම එක් ණයකරයක වටිනාකම රුපියල් 100 කි. ඒ අනුව නිකුත් කෙරෙන මෙම ණයකරයේ සමස් වටිනාකම රුපියල් බිලියන 5 ක් (5,000,000,000ක්) වෙයි.

යම් ලෙසකින් මෙම ණයකර නිකුතුව සඳහා අධිඉල්ලුමක් පැවතියහොත් තවත් අමතර ණයකර මිලියන 20ක් (20,000,000ක්)  නිකුත් කිරීමටත් බැංකුව කටයුතු යොදා සිටියි. එහිදීද එක් ණයකරයක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇත.

ඒ අනුව සමස්ත ණයකර නිකුතුව හරහා රැස් කරගැනීමට සැලසුම් කර ඇති මුදල රුපියල් බිලියන 7 කි. මෙහිදී අදාළ ණයකර දෙකම 9.50ක වාර්ෂික ස්ථාවර පොළී අනුපාතයක් යටතේ නිකුත් කෙරෙන බවත්, පොළී ගෙවීම වාර්ෂිකව සිදු කෙරෙන බවත් සඳහන් කරයි.

Visits: 259