පෙන්ටගනයේ තීරණයත් සමග ජෙෆ් බෙසොස්ගේ වත්කම ඩොලර් බිලියන 211ක් වෙලා

සුප්‍රසිද්ධ ඇමසෝන් සමාගමේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ජෙෆ් බෙසොස්ගේ සම්පූර්ණ වත්කම ඊයේ (07දා) එක්සත් ජනපද ඩොලර් බිලියන 211 ක් බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව බ්ලූම්බර්ග් බිලියනයර්ස් ඉන්ඩෙක්ස් දර්ශකයට අනුව මෙය එතෙක් මෙතෙක් ලොව ධනවතෙකු හිමි කරගත් ඉහළම වත්කම බවටත් පත්ව තිබේ. එම දර්ශකය සඳහන් කරන ආකාරයට ඇමසෝන් ඉන්කෝපරේෂන් සමාගමේ කොටස් වටිනාකම් පසුගිය අඟහරුවාදා දිනයේදී 4.7%කින් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4 කින් ඉහළ යාම මෙම වත්කම් ඉහළ යාමට හේතුව වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය විසින් 2019 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම වෙත පිරිනමා තිබූ ක්ලවුඩ් පරිගණක මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුවක් පසුගියදා එම සමාගමෙන් ඉවත් කිරීම මෙලෙස ඇමසෝන් සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාමට හේතුව වී තිබේ.

JEDI (Joint Enterprise Defense Infrastructure Cloud) නමින් හැඳින්වුණු මෙම කොන්ත්‍රාත්තුව එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක් වටිනා ව්‍යාපෘතියක් බව පැවසෙයි. මෙම කොන්ත්‍රාත්තුව අත්පත් කර ගැනීමේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානම තරගකරුවා ලෙස සිට ඇත්තේ ඇමසෝන් සමාගමයි.

ඇමසෝන් සමාගම සඳහන් කරන ආකාරයට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාගමත් සමගින් පැවැති මතභේදයක් නිසා මෙම කොන්ත්‍රාත්තුව මයික්‍රොසොෆ්ට් සමාගමට ලබා දී ඇත. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගම වෙත පිරිනැමූ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරියේදී ලංසු කැඳවීමට නියමිත බව පෙන්ටගනය පවසා ඇත.

මේ අතර, ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පසුගිය සඳුදා (05දා) දිනයේදී තමන් එතෙක් දරමින් සිටි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් විය. එම අවස්ථාව වනවිට ඔහුගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 197ක් ලෙස පැවැති බවද බ්ලූම්බර්ග් බිලියනයර්ස් ඉන්ඩෙක්ස් සඳහන් කරයි.

අද (08දා) දිනයේදී ජෙෆ් බොසොස්ගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 210.2ක් ලෙස සටහන්ව තිබේ. මීට පෙර බ්ලූම්බර්ග් බිලියනයර්ස් ඉන්ඩෙක්ස්හි වැඩිම වත්කමක් සටහන් කර ඇත්තේ ටෙස්ලා සමාගමේ හිමිකරු එලෝන් මස්ක්ය. පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 210ක් විය.

Visits: 186