මොනවාද මේ ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම්?

ශ්‍රී ලංකාව සිය විදේශ මුදල් සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණින් පසුගිය මැයි මාසයේදී බංග්ලාදේශයත් සමගින් ඩොලර් මිලියන 250ක විදේශ මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹුණි. මෙය ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් ලෙස හැඳින්වුණි. කෙසේ වෙතත් එහිදී බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණයට ගන්නා රටක් බවට අද ශ්‍රී ලංකාව පත්ව ඇතැයි විවිධ විවේචන මතුවිය.

මෙලෙස රටවල් දෙකක් අතර සිදුවන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යනු කුමක්ද, මේ දක්වා ශ්‍රී ලංකාව පිවිස තිබෙන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් මොනවාද යන්න සම්බන්ධයෙන් සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කරන්නට වෙරිටේ රිසර්ච් ආයතනයේ පබ්ලික් ෆිනෑන්ස් (Public Finance.lk) කටයුතු යොදා තිබේ.

විනිමය හුවමාරුවක් යනු මුදල් හුවමාරු කර ගැනීමට පාර්ශ්ව දෙකක් අතර ඇති කර ගන්නා ගිවිසුමක් වේ. කිසියම් රටවල් දෙකක මහ බැංකු දෙකක් එකිනෙකා සමඟ එකිනෙකට වෙනස් මුදල් වර්ග දෙකක් හුවමාරු කර ගැනීම ද්විපාර්ශ්වික විනිමය හුවමාරුවක් නම් වේ.

එක් රටක් (උදා: ශ්‍රී ලංකාව) වෙනත් රටකින් යම් මුදල් වර්ගයක් (උදා: ඇ.එ.ජ. ඩොලර්) ණයක් ලෙස ලබා ගනී. ඒ අතරවාරයේදීම එම රට විසින් තම මුදල් වර්ගය ණයක් ලෙස දෙවැනි රටට  ලබා දේ.

විනිමය හුවමාරු ගිවිසුම වලංගු වන කාල සීමාව තුළදී එක් එක් පාර්ශ්වය විසින් ආරම්භයේදී හුවමාරු වූ මුල් මුදලට අදාළව පොළී ගෙවීම් සිදු කෙරෙනු ලැබේ. සාමාන්‍ය නිදසුනක් ගතහොත්, ශ්‍රී ලංකාව ඇ.එ.ජ. ඩොලර් මුදල මත පොළී ගෙවීම් සිදුකරන විටල දෙවැනි රට ශ්‍රී.ලං.රු මුදල මත පොළී ගෙවීම් සිදු කරයි.

ගිවිසුම අවසානයේදී මුල් මුදල පෙර එකඟ වූ විනිමය අනුපාතයකට අනුව නැවත වරක් හුවමාරු කෙරේ. උදා: ශ්‍රී ලංකාව විසින් ඇ.එ.ජ. ඩොලර් ආපසු බාර දී ශ්‍රී.ලං.රු. නැවත ලබා ගනී.

විදෙස් විනිමය සංචිත ඉහළ නැංවීම පිණිස විනිමය හුවමාරු බොහෝ විට භාවිතා වේ. විදේශ මුදල් සම්බන්ධ ද්‍රවශිලතාවයෙහි තාවකාලික හිඟයක් පියවීමට විනිමය හුවමාරුවලට හැකි වේ. රජයට තම ණය ගෙවීමට සහ ආනයන වියදම් පියවීමට  අවශ්‍ය විදෙස් විනිමය හිඟ වී යන අවස්ථා එවැන්නකට උදාහරණයකි.

එය විදෙස් මුදල් වර්ගයකින් පවතින ණය මුදලකට සමාන නමුත් ඊට ඇපකරය ලෙස ඇත්තේ දේශීය මුදල් වර්ගයයි (උදා: ඇ.එ.ජ.ඩොලර් ලබා ගැනීමට ශ්‍රී.ලං.රු හුවමාරු කර තිබීම). මේ හේතුවෙන් විනිමය හුවමාරු බොහෝ වාණිජ ණය මුදල්වලට වඩා අඩු පිරිවැයක් සහිත විය හැක.

විනිමය හුවමාරු සඳහා අදාළ වන කාලසීමාව සාමාන්‍යයෙන් ස්වෛරීත්ව බැඳුම්කර සහ ඒකාබද්ධ ණය වැනි මූල්‍ය උපකරණවලට අදාළ වන කාලසීමාවට වඩා අඩු වේ. එබැවින්, කෙටිකාලීන ද්‍රවශීලතා ගැටළු විසඳීමේදී මුදල් හුවමාරු ප්‍රයෝජනවත් විය හැකි වුවද දිගු කාලීන බාහිර අසමතුලිතතාවයන්ට ඒ හරහා විසඳුමක් නොලැබීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන විනිමය හුවමාරු ගිවිසුම් ශ්‍රී ලංකා මහා බැංකවේ මාධ්‍ය නිවේදන හරහා පළ කෙරේ. 2014 සැප්තැම්බර් මාසයේ සිට මෑත කාලීනව එළැඹ ඇති මුදල් හුවමාරු ගිවිසුම් ඇ.එ.ජ.ඩොලර්/ශ්‍රී.ලං.රුපියල් හෝ චීන යුආන්/ශ්‍රී.ලං.රුපියල්වලින් හෝ ලෙසින් පැවත ඇත.

ශ්‍රී ලංකාව සමගල 2014 සැප්තැම්බර් මාසයේදීත් 2021 මාර්තු මාසයේදීත් වලංගු කාලසීමාව වසර 3ක් ලෙස පවතින, ඇ.එ.ජ.ඩොලර් බිලියන 1.63ක සහ ඇ.එ.ජ.ඩොලර් බිලියන 1.5ක වටිනාකමකට සමාන චීන යුආන් මුදල් හුවමාරු ගිවිසුම් දෙකකට චීනය එළැඹී තිබේ.

අනෙක් අතට, ඉන්දියාවල ශ්‍රී ලංකාව සමගල 2015 මාර්තු සිට 2020 ජූලි දක්වා වලංගු කාල සීමාව වසරකට වඩා අඩු ඇ.එ.ජ.ඩොලර් මුදල් හුවමාරු ගිවිසුම් කිහිපයකටම එළැඹ ඇත. ශ්‍රී ලංකාව සමඟ ඇ.එ.ජ.ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹීම පිණිස 2021 මැයි මාසයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ සාකච්ඡා කර තිබේ.

Visits: 267