ජපානයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් රෝහල් 14 කට ඩොලර් 225,000 ක රෝහල් උපකරණ

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන්, ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් සමඟ සම්බන්ධ වෙමින් ඩොලර් 225,000 ක් වටිනා කෝවිඩ් ආශ්‍රිත හදිසි උපකරණ රජයේ රෝහල් 14 කට පරිත්‍යාග කරන ලද බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා විසින් හඳුන්වා දුන් විශේෂ වැඩසටහනක් හේතුවෙන් බොහෝ දානපතියන් මේ සඳහා ඉදිරිපත් වී තිබේ. මෙම වැඩසටහන මඟින් පරිත්‍යාගශීලීන්ට තමන් කැමති වෛද්‍ය උපකරණ අවසර ලත් ශ්‍රී ලාංකික සැපයුම්කරුවන්ගෙන් සෘජුවම තෝරා ගැනීමට සහ ඔවුන් කැමති රෝහලකට එම උපකරණ පරිත්‍යාග කිරීමට ඉඩ ලබා දෙන ලදි. අනුගමනය කරන ලද විනිවිදභාවය අගය කරමින්, දානපතීහු කිසිඳු පැකිලීමකින් තොරව ඔවුන්ගේ දායකත්වය ලබා දුන්හ.

ජපානයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා සංගම් හතරක්, එනම්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය, කන්සායි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය සහ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය තම සාමාජිකයින් බලමුලු ගන්වා මෙම වටිනා කටයුත්ත සඳහා සහාය වී තිබේ.

නව කොරෝනා ප්‍රභේද වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ රෝහල්ගතව සිටින රෝගීන්ට ක්ෂණික ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීම නිසා වෙන කවරදාටත් වඩා රෝගීන් මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. තානාපති ගුණසේකර මැතිතුමා තම නිල නිවසේ දී ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අතර, සවිස්තරාත්මක පරිගණක ඉදිරිපත් කිරීමකින් අනතුරුව තනි තනි වශයෙන් ප්‍රශ්න හා පිළිතුරු සැසියක් මගින් මෙය “සාර්ථක ලෙස” ජීවිත බේරා ගැනීම සඳහා අවස්ථාවක් වන්නේ කෙසේදැයි පැහැදිලි කර ඇත.

රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන HFNO යන්ත්‍ර, BMC යන්ත්‍ර, BI PAPS යන්ත්‍ර, වෙන්ටිලේටර්, ඔක්සිජන් නියාමක, NRBM යන්ත්‍ර, මල්ටි පැරා මොනිටර්, සිරින්ජ පොම්ප වැනි අත්‍යවශ්‍ය උපකරණ අටක් පිළිබඳ තොරතුරු සපයන සැපයීම සිදුව තිබේ. අදාළ රෝහල් අධ්‍යක්ෂවරුන්, ඉහත උපකරණ සැපයුම්කරුවන් සහ අදාළ ශ්‍රී ලාංකික නියෝජිතයින්ගේ තොරතුරු සම්බන්ධකතා පරිත්‍යාගශීලීන්ට භාර දෙන ලදි. තවද, අවශ්‍ය උපකරණ සහ රෝහල් සමඟ සැපයුම් ගැලපීමෙන් පසුව මුදල් සෘජුවම වෙළෙන්දන්ට බැර කරන ලෙස ඉල්ලා සිට ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ රෝහල්වලට උපකරණ තෑගි කිරීම නිරීක්ෂණය කිරීම සඳහා දානපතියන්ගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය කිරීම ඇතුළුව, ඇණවුම් කිරීම, භාරදීමේ කාලසටහන්, පිළිබඳ සියළු සැපයුම් සේවා සම්බන්ධීකරණය කර තිබේ.

සමස්ත ව්‍යාපෘතිය මුළුමනින්ම විනිවිද පෙනෙන ආකාරයෙන් වූ අතර, පරිත්‍යාගශීලීන්ට සියලු තොරතුරු සඳහා පූර්ණ ප්‍රවේශයක් තිබුණි.හදිසි ප්‍රමුඛතා පදනමක් මත අදාළ රෝහල් වෙත උපකරණ ලබා දෙන ලද අතර, එමඟින් සම්පූර්ණ ව්‍යාපෘතිය සති 3 කින් අවසන් කිරීමට හැකි වූ බවද ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Visits: 32