මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ මට්ටමේම පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 4.50%ක් සහ 5.50%ක් ලෙස පවත්වාගෙන යන බව මහ බැංකුව පවසයි.

මේ හරහා මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව ඉදිරියටත් එලෙසින්ම වන බව මහ බැංකුව සඳහන් කරයි.

ඊයේ (ජූලි 07දා) පැවැති ශ්‍රී ලංකා මහබැංකුවෙහි මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මේ බව දැනුම් දෙන ශ්‍රී ලංකා මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අද (ජූලි 08) පෙරවරු 11ට අන්තර්ජාල Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.

 “දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණි.” යනුවෙන් මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

මේ අතර තවමත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ ජාතික නිෂ්පාදිතයේ ඇස්තමේන්තුව නිකුත් කර නැති මුත්, එම කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය බලාපොරොත්තු වූ අනුපාතයට වඩා ඉහළ යාමේ අවස්ථාවක් පවතින බවද මහ බැංකුව පවසා සිටියි.

විශේෂයෙන්ම කොවිඩ්-19 එන්නත්කරණය නිසා රටෙහි ආර්ථිකය යථාවත්වීම යම් තරමකින් වේගවත් වන බවත් මහ බැංකුව පවසයි.

Visits: 296