වටිනා කොටස් සඳහා ආයෝජක උනන්දුව ඉහළ යාමෙන් දර්ශක ඉහළ නගී

අද (ජූලි 07) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු ඉතාමත් සාර්ථක ආකාරයෙන් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා වන ආයෝජක උනන්දුව ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ආයෝජකයන් තවදුරටත් කල්පනාකාරීව තීරණ ගන්නා බව පෙන්නුම් කරන බවද එම සමාගම් සඳහන් කරයි.

විශේෂයෙන්ම රටෙහි විදේශ විනිමය සංචිතවල තත්ත්වය සහ ඉදිරියේදී උදා වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර පියවීම් යනාදී කාරණා නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ. එසේම පිට පිට තෙවැනි දිනටත් ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ විදේශ ආයෝජන පිටතට ගලායෑම් දැකගත හැකි වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,772.90ත් ඒකක 7,835.91ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,809.38ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 06) දිනයට සාපේක්ෂව ඒකක 17.17ක් එනම් +0.22%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මේ අතර එක තැරැව්කාර සමාගමක් මගින් එකම අවස්ථාවකදී එකම කොටස් වටිනාකමක් යටතේ විකුණුම්කරුවෙකු සහ ගැනුම්කරුවෙකු අතර සිදුකළ ගනුදෙනුවක් (ක්‍රොසිං) ලෙස අද දිනයේදී ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගමේ සිදු වූ ගනුදෙනුව දිනයේ පිරිවැටුමෙන් 2.5%ක් සඳහා දායකවී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 61ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+12.09), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+7.24), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+4.24), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+3.12), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+2.01), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-11.52), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.77), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-4.74), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-2.06), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-1.89යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,936.41ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 06දා) ‍ට සාපේක්ෂව ඒකක 5.1 ක එනම් 0.17%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.36ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 06දා) වාර්තා කළ රුපියල් බිලියන 1.35ට සාපේක්ෂව 0.4% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.46ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.79%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 31.03ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 367.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 336.2කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 27.45ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්වීඑල් එනර්ජි ෆන්ඩ්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.35 කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 242.98ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 377ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 334 ක සහ රුපියල් මිලියන 102ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 276