JKH හි විදේශ ආයෝජන පිටතට ගලායෑම දර්ශක අගයන් ඍණවීමට බලපායි

අද (ජූලි 06) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු ඉතාමත් උදාසීන ආකාරයෙන් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම වටිනා සමාගම්වල කොටස් වටිනාකම් තවදුරටත් පහළ වැටීමක් පෙන්නුම් කර ඇත.

එසේම අද දිනයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි සිදු වූ විදේශ ආයෝජන පිටතට ගලායෑම් නිසා එහි වටිනාකම් වෙත එල්ල වූ බලපෑම දර්ශක අගයන් වෙතද අහිතකර ලෙස බලපා තිබේ. මේ අතර අඩු කොටස් ප්‍රමාණයක් පමණක් ගනුදෙනු වන සමාගම්වල කොටස් හරහා පමණක් සියලු කොටස් මිල දර්ශකය වෙත දායකත්වය ලබා දුන්නද, එය ඊයේට සාපේක්ෂව එම දර්ශකය ඉහළ නැංවීමට අපොහොසත් වූ බවද එම  සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,778.36ත් ඒකක 7,861.18ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,792.21ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 05) දිනයට සාපේක්ෂව ඒකක 2.00ක් එනම් -0.03%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

එහිදී පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 18%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 67ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+21.61), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+9.49), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (+7.71), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+3.21), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+2.91), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-16.66), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-8.94), සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී CCS (-3.6), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.95), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.65) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,931.31ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 05දා) ‍ට සාපේක්ෂව ඒකක 21.65 ක එනම් -0.73%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.35ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 05දා) වාර්තා කළ රුපියල් බිලියන 1.42ට සාපේක්ෂව 4.6% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.45ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.53%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 24.6ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 235.21ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 210.62කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 27.11ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.46 කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 127.84ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 449ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 246 ක සහ රුපියල් මිලියන 170ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 277