ශ්‍රී ලංකා – චීන සබඳතාව සැමරීමට රු. 1000 රන් හා රිදී සමරු කාසි දෙකක්

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වැනි සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000ක මුහුණත් වටිනාකමින් යුත් රන් සහ රිදී සමරු කාසි දෙකක් නිකුත් කර ඇතැයි පවසයි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා වූ විශේෂ ගෞරවයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම සමරු කාසි නිකුත් කර තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.

මෙහි පළමු සමරු කාසිය ශ්‍රීලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (ජූලි 06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වශයෙන් පිළිගැන්වීම සිදු කර තිබේ.

මෙහිදී රවුම් හැඩය ගත් කාසි දෙකෙහිම මුහුණත සහ පිටුපස සැකැස්ම එකම ආකාරය ගනී. ඒ අනුව කාසියේ මුහුණත ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස රූපය කාසියේ මධ්‍යයේ දැක්වෙයි. එසේම 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දැක්වෙයි. මීට අමතරව කාසියේ පරිධියෙහි ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ‘ශ්‍රීලංකාව-චීනය වසර 65යි’ ලෙස දැක්වෙයි.

මේ අතර කාසියේ පිටුපස කොටසේ මුහුණත වටිනාකම රුපියල් 1000 විශාල ඉලක්කමෙන්ම, 100 වන සංවත්සරය සහ 1921-2021 වසර යන වචන සමගින් ‘චීන කොමියුනිස්ට් පක්ෂය’ යන වචන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබේ.

මෙහිදී රන් කාසිය කැරට් 22 රත්රන්වලින් නිමවා තිබේ. එහි එක් කාසියක විකුණුම් මිල රුපියල් 222,000 කි. ග්‍රෑම් 12ක බරකින් යුත් කාසි 500ක් නිකුත් කෙරෙන බව මහ බැංකුව පවසයි.

එසේම රිදී කාසිය (0.925 අගය ගනී). එහි එක් කාසියක විකුණුම් මිල රුපියල් 17,000කි. ග්‍රෑම් 28.28ක බරකින් යුත් මෙම කාසි 2,000ක් නිකුත් කෙරෙන බව  මහ බැංකුව පවසයි.

මෙම එක් එක් සමරු කාසිය තථ්‍යතා සහතිකය සමග ආකර්ෂණීය බහාලුමක නිකුත් කර තිබේ. මෙම රන් සහ රිදී කාසි සීමිත කාසි නිකුතුවක් බවත් ඉහත සඳහන් මිල ගණන් යටතේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව හරහා පූර්ව ඇණවුමක් හරහා මෙම කාසි මිලදී ගත හැකිය.

ඒ අනුව කොළඹ 01 චැතැම් වීදිය, අංක 24, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල යන ස්ථානයේ පිහිටි ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ විකිණුම් කවුළුව හරහා පමණක් ලබන ජුලි 12 වැනිදා සිට මෙම කාසි මිලදී ගත හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

දුරකතන අංක 0114387405 හෝ 0112444503 යන අංක හරහා මෙම ආර්ථික ඉතිහාස කෞතුකාගාරය සම්බන්ධ කර ගත හැකිය.

Visits: 120