සෙලෙන්දිවා ලෙෂර් මූලික කොටස් නිකුතුව ජූලි 31 දා?

රජයේ හිමිකම සහිත හෝටල් තුනක් ඇතුළත් කරමින් පිහිටුවා ඇති සෙලෙන්දිවා ලෙෂර් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා අදාළ මූලික කොටස් නිකුතුව (IPO) බොහෝ දුරට ලබන ජූලි 31 වැනිදා සිදු වෙනු ඇතැයි සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂාමාහිල් මොහිදීන් මහතා සඳහන් කරයි.

අද පළ වුණු ද සන්ඩේ මෝර්නිං පුවත්පත සමග අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව බොහෝ දුරට ලබන ජූලි 31 වැනිදා මෙම මූලික කොටස් නිකුතුව සිදු කෙරෙනු ඇති බවත්, අපේක්ෂා කොකළ හේතු නිසා මෙම දිනය කල් යෑමේ අවස්ථාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

“මෙම මූලික කොටස් නිකුතුවට අදාළ ලියකියවිලි දැනටමත් සකස් කරමින් පවතින්නේ ඒ වගේම මෙම නිකුතුව පිළිබඳ විවරිණාකාවත් සකස් කරමින් පවතින්නේ. කොහොම නමුත් කොළඹ කොටස් හුවමාරුව තුළ මෙම මූලික කොටස් නිකුතුව නිවේදනය කිරීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් වන කාරණාත් තිබෙනවා. එතැනදී කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ අනෙකුත් ලියකියවිලි පිළිබඳ කාරණාත් පවතීවි.” ඔහු සඳහන් කර ඇත.

රජයට අයත් දේපළ සංවර්ධන ව්‍යවසායන් ලාභ ලබන ව්‍යවසායන් බවට පත් කරවීම සඳහා මෙම සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම පිහිටුවා තිබේ. මෙහි 100% ක නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම සමාගමේ හිමිකාරීත්වය භාණ්ඩාගාරය සතුවෙයි. මෙම සමාගමේ කොටසක් ලෙස සෙලෙන්දිවා ලෙෂර් ක්‍රියාත්මක වන අතර ඒ යටතේ ග්‍රෑන්ඩ් හයාට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සහ හිල්ටන් යන හෝටල් එකතු කෙරී ඇත. මෙම ව්‍යවසායන් සඳහා ආයෝජකයන් සොයා ගැනීම මෙම නිකුතුවේ අරමුණ වී ඇත. 

ඒ අනුව මොහිදීන් මහතා පුවත්පත වෙත පවසා ඇති ආකාරයට මෙහිදී සෙලෙන්දිවා ලෙෂර් සමාගමේ 49%ක කොටස් ප්‍රතිශතයක් මෙහිදී කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කිරීම සැලසුම වී ඇත. අදාළ සමාගම යටතේ ඉහත සඳහන් හෝටල් තුන ක්‍රියාත්මක වෙයි.

අද වනවිට මෙම හෝටල් අතරින් හිල්ටන් හෝටලය රජයට අයත් කැන්විල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම යටතේද, ග්‍රෑන්ඩ් හයාට් හෝටලය හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් යටතේද, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් සමාගම යටතේද පවතී.

Visits: 624