ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී උපකොන්ත්‍රාත්කරු ලෙස ඉදිකරන ගැටඹේ ගුවන් පාළමේ කටයුතු ඇරඹේ

පේරාදෙනිය නගරයේ, ගැටඹේ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන ගුවන් පාලමෙහි උපකොන්ත්‍රාත්කරු ලෙස ක්‍රියාකරන ඇක්සස් ඉන්ජිනියරිං සමාගම පසුගියදා එම ඉදිකිරීම් ආරම්භ කළ බව පවසයි. මෙම ස්ථානයෙහි පවතින අධික රථවාහන තදබදය වෙනුවෙන් මෙම ගුවන් පාලම ඉදිකිරීමට යෝජනා වී තිබේ.

පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි ගැටඹේ නගරය පැරණි පේරාදෙනිය මහනුවර මාර්ගය (A1) සහ නව පේරාදෙනිය මහනුවර මාර්ගය (AB42-විලියම් ගොපල්ලව මාවත) එකිනෙක සම්බන්ධ කරයි. ඊට අමතරව විලියම් ගොපල්ලව මාවත හරහා මහනුවර නගරය දෙසට දුම්රිය මාර්ගයක්ද වැටී තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව ප්‍රදේශය තුළ දිනෙන් දින ඉහළ යන රථවාහන තබදයට ප්‍රමාණවත් තරමින් මාර්ග ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බව හඳුනාගෙන තිබේ. එසේම දුම්රිය හරස් මාර්ගය ආශ්‍රිතව ක්‍රියාත්මක අකාර්යක්ෂම පාලනය සහ ආරක්ෂිත පද්ධතිය ඇතුළු කාරණා හේතුවෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇති වන බව හඳුනාගෙන ඇතැයිද එහි සඳහන්ව ඇත.

ඒ අනුව මීට පිළියමක් ලෙස ගැටඹේ ආශ්‍රිතව රථවාහන තදබදය ඉහිල් කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙලෙස එම ස්ථානය වෙත ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජනා කර තිබේ. මෙම යෝජිත ගුවන් පාලම කොටස් දෙකකින් යුක්ත වෙයි. ඒ අතරින් ප්‍රධාන ගුවන් පාලම AB42 මාර්ගය හරහාත් තවත් අතුරු ගුවන්පාලමක් AB42 මාර්ගයේ සිට A1 මාර්ගය වෙත පේරාදෙනිය දෙසටත් වන ලෙස ඉදිකිරීම සිදු කෙරේ.

මේ අතරින් ප්‍රධාන ගුවන් පාලම මීටර් 396.3ක දිගකින් යුක්තවන අතර, දුම්රිය මාර්ගය සහ ඒ අතර අවම සිරස් පරතරය මීටර් 6ක් සහ මාර්ගයත් සමගින් මීටර් 5.2ක් පමණ වෙයි. එසේම එම ගුවන් පාලම දෙපසටම රථවාහන ධාවනය කළ හැකි ආකාරයට ඉදි කෙරේ. එසේම අතුරු ගුවන් මාර්ගය මීටර් 432.4ක දිගකින් යුක්තවන අතර එහි එක් පෙදෙසකට පමණක් රථවාහන ධාවනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් ගැටඹේ වෙත අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් මෙන්ම, A1 මාර්ගය දෙසට යන රථ වාහන සඳහා මෙන්ම එම හංදියෙන් හරවන රථවාහන සඳහාද පහසුකම් සලසන මාර්ග ඉදිකිරීමත් සිදු කෙරෙන බව ඇක්සස් ඉන්ජිනියරිංපීඑල්සී සමාගම පවසයි.

මෙහිදී මෙම ව්‍යාපෘතිය හංගේරියානු රජයේ අරමුදල් යටතේ ඉදි කෙරෙන අතර, ගුවන් පාලමේ නිර්මාණය සහ උපරිව්‍යුහය සැපයුම හංගේරියාවේ Betonútépítő සමූහය මගින් සිදු කරයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා එම සමාගම වන අතර එම සමාගමේ උප කොන්ත්‍රාත්කරුවා ලෙස ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම ක්‍රියා කරයි. එහිදී ස්ථානීය කටයුතු, යාබද මාර්ග ඉදිකිරීම සහ ලෝහමය උපරිව්‍යුහය සථාපිත කිරීම සහ පිහිටුවීම යනාදිය උපකොන්ත්‍රාත්කරු ලෙස ඇක්සස් ඉන්ජිනියරිං වෙත හිමිව තිබේ.

Visits: 950