ජුනි නිමා වන විට ඇඟළුම් සේවකයන්ගෙන් 30%කට පළමු එන්නත් මාත්‍රාව ලබා දී අවසන් – JAAF

සිය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව හා ඇඟළුම් කර්මාන්තය පුනර්ජීවනය කිරීමට දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස ජුනි මස අවසන් වන විට ඇඟළුම් කර්මාන්තයේ සමස්ත ශ‍්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 30%කට කොවිඞ්-19 ප‍්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) නිවේදනය කර සිටියි.

JAAF හි මහලේකම් ටියුලි කුරේ මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරමින් හා ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඍජු සහයෝගය සමඟින් සිය සංසදයට අයත් ඇඟලූම් සේවක සේවිකාවන් වැඩි සංඛ්‍යාවකට කොවිඞ්-19 එන්නත ලබා දීමට හැකියාව ලැබුණු බවයි. 

‘‘එන්නත් ලබා දීමේ මෙම නවතම වැඩපිළිවෙලට පෙර කොවිඞ්-19 එන්නත් සැපයුම් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති දුෂ්කරතා හේතුවෙන් අපගේ ශ‍්‍රම බලකායෙන් එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගැනීමට හැකි වුනේ 5%කට පමණයි. කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ සමස්ත ඇඟළුම් ශ‍්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 1/3ක් වන කොටසකට එන්න ලබා දීමට අදාල බලධාරීන්ට හැකියාව ලැබුණා. අපගේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ දැවැන්ත පියවරක් ලෙස අප මෙය දකිනවා. ඒවගේම සේවකයින්ගේ සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් අපට මීට පෙර මතු කළ ගැටළුවලට විසඳුම් ලබා දීම පිළිබඳව බලධාරීන්ට අප බෙහෙවින් කෘතඥ වෙනවා.’’ යනුවෙන් ඔහු පැවසුවේය. නිදහස් වෙළෙඳ කලාපවල ඇති ඇඟළුම් කර්මාන්තශාලාවල එන්නත්කරණ ක‍්‍රියාවලිය ඉහළ මට්ටමකින් සිදු වූ අතර එම ක‍්‍රියාවලිය මේ වන විට දිවයින පුරා සිදු වෙමින් පවතී.

‘‘රජය විසින් කොරෝනා වෛරසය ආසාදනය නොවීමට හා වසංගතයට අනුව හැඩ ගැසීම සහතික කිරීම සඳහා නිෂ්පාදන සමාගම් හා අනෙකුත් කර්මාන්ත විසින් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක‍්‍රමවේද නිකුත් කරනු ලැබුවා. නිෂ්පාදන කටයුතු සිදු කරන අංශවල සහ අනෙක් සෑම ස්ථානයකම සේවය කරන අපගේ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව හා සුබසාධනය උදෙසා අප කැපවී කටයුතු කළා.’’ යනුවෙන් කුරේ මහතා වැඩිදුරටත් පැවසුවේය. ‘‘ඒවගේම අපගේ සේවකයින්ගේ පවුල් අපට හැකි ඉක්මනින් හා ආරක්ෂිතව නැවතත් සුපුරුදු රාජකාරීවලට යොමු කරවීම අපගේ බලාපොරොත්තුවයි.’’

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයේ නියුතු සමස්ත සේවක සේවිකාවන් 300,000කින් ආසන්න වශයෙන් 30% කට 2021 ජුනි මස අග වන විට කොවිඞ්-19 එන්නත් ලබා දෙන ලදී.

මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රය දිවයින පුරා සිටින ශ‍්‍රී ලාංකිකයන් 300,000 කට පමණ සෘජු රැකියා සහ සැලකිය යුතු ආදායමක් සපයා දෙනු ලබයි.

‘‘එන්නත් ලබා දීම මේ ආකාරයටම පවත්වා ගැනීමෙන් ඉදිරි සති දෙක තුළදී ඇඟළුම් ශ‍්‍රම බලකායෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවකට පළමු එන්නත් මාත‍්‍රාව ලබා දීමට අප බලාපොරෝත්තු වනවා. අගෝස්තු මස වන විට එම ප‍්‍රමාණය 80%ක් පමණ වනු ඇත. සියල්ල සැලසුමකට අනුව සිදුවන්නේ නම් දෙසැම්බර් මස වන විට අපගේ සමස්ත ශ‍්‍රම බලකායටම එන්නත ලබා දී ආරක්ෂිතව නැවත සේවයට පැමිණීමට හැකි වනු ඇති බවට අප විශ්වාස කරනවා. මෙය සේවක සේවිකාවන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ ඔවුන් විසින් ජීවිත ගොඩනගා ගැනීමට උපකාර කළ ප‍්‍රජාවන්ට මෙන්ම සමස්තයක් වශයෙන් ඇඟළුම් කර්මාන්තයට හා ජාතික ආර්ථිකයට ද ඉතා සුබවාදී ආරංචියක් වනු ඇති.’’ යනුවෙන් කුරේ මහතා සඳහන් කළේය.

ඇඟළුම් කර්මාන්තයේ සමස්ත ශ‍්‍රම බලකායට ඉක්මනින් එන්නත ලබා දීමට හැකි වන පරිදි කොවිඞ්-19 එන්නත් ලබා දීමේ මෙම ක‍්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට JAAF හි සාමාජික සමාගම් අදහස් කරයි; මෙම එන්නත්කරණයේ මීලඟ අදියර වන්නේ ශ‍්‍රම බලකායෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ පවුල්වලට සහ ඔවුන් ජීවත් වන හා වැඩ කරන ප‍්‍රජාවන් වෙත එය ව්‍යාප්ත කිරීමයි. පළාත් පාලන ආයතනවල සහ ප‍්‍රජාවන්ගේ සහයෝගයෙන් එම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවනු ඇත.

Visits: 67