දිලිත් ජයවීරට චෝදනා එල්ල වුණූ මොකක් ද මේ ලංකා හොස්පිටල් කොටස් ගනුදෙනුව?

මෙරට ප්‍රකට සමාගමක් වන ජෝර්ස් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතාට එරෙහිව 2011 වසරේදී සිදු වූ ලංකා හොස්පිටල් සමාගමේ කොටස් ගනුදෙනුවක් පිළිබඳව ඉදිරිපත් වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (ජූලි 02) සිරස Newsfirst පුවත් විකාශය තුළ සඳහන් වීමත් සමගින්ම ඒ පිළීබඳව වන අවධානය ඉහළ ගොස් තිබේ.

2015 වසරේදී ඔහු වෙත මෙම චෝදනා එල්ල වූ අතර, එවක පැවැති රජය මගින් පිහිටවූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හරහා ඒ පිළිබඳව පරීක්ෂණයක්ද පැවැත්වුණි. ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නියෝමාල් ඇලෙක්සැන්ඩර් මහතා විසින් මෙම චෝදනාව ජයවීර මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.  

රුපියල් 28ක්ව පැවැති ලංකා හොස්පිටල් පීඑල්සී සමාගමේ කොටසක් රුපියල් 64ක් දක්වා කෘත්‍රිමව ඉහළ නංවා, ඒ අතරින් කොටස් ප්‍රමාණයක් ඉන්දියානු ආයෝජකයෙකු වෙත අලෙවි කළ බවට මෙම චෝදනාව විය. එහිදී මෙම අලෙවිය දිලිත් ජයවීර මහතාට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් ස්ටොක් බ්‍රෝකර්ස් සමාගම හරහා සිදු ව ඇති බවත්, රජයේ බහුතර හිමිකාරීත්වය සහිත සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කොටස් මෙලෙස අලෙවිය හරහා රුපියල් මිලියන 600ක මූල්‍යමය වංචාවක් සිදු ව ඇති බවටද චෝදනා කරු එහිදී සඳහන් කර තිබුණි.

එසේම මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී දිලිත් ජයවීර මහතා ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයෙකුව සිටි බවත් වැඩිදුරටත් සඳහන් විය.

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට 2011 මාර්තු 04 වැනිදා සිදුව ඇති මෙම ගනුදෙනුවේදී ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 28.6%ක ප්‍රතිශතයක් ඉන්දියාවේ Fortis Global Health Care නම් සමාගම වෙත රුපියල් බිලියන 3.9ක මුදලකට අලෙවි කර තිබේ. මෙම කොටස් මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතාගේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා සමාගමට අයත්ව තිබූ ඒවා වෙයි.

මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ කොටසක් රුපියල් 37.50ක්ව ලෙස පැවතී ඇත. කෙසේ වෙතත් 2011 අගෝස්තු 05 වැනිදා ලංකා හොස්ප්ටලිස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 52ක් දක්වා ඉහළ නැග ඇති අතර, ඊට දින 12කට පසුව එනම් අගෝස්තු 17 එහි කොටසක වටිනාකම රුපියල් 104ක් දක්වා එනම් 177%කින් ඉහළ නැග ඇත.

එහෙත් වසර හතරකට පසුව එනම් 2015 මැයි මාසයේ (දිලිත් ජයවීරට එරෙහි චෝදනාව විභාග කරද්දී) ලංකා හොස්පිටල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 41ක් බවට පහත බැස තිබුණි. ඒ අනුව මෙම වටිනාකම ලංකා හොස්පිටල්ස් පීඑල්සී කොටසක සැබෑම වටිනාකම බවත්, 2011 අගෝස්තු මාසයේදී එහි කොටස් වටිනාකම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම තුළ වංචාවක් පවතින බවත් එම අවස්ථාවේදී කරුණු දැක්වීමක් සිදුව තිබුණි.

මෙහිදී ජයවීර මහතාට අමතරව, ඔහුගේ මිතුරියක මෙන්ම ව්‍යාපාර හවුල්කාරිනියකද වන වරුණි අමුණුගම මහත්මියට, එවකට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතාට සහ සර්වජන ආනන්දරාජා අමරසේකර මහතාටද මෙහිදී චෝදනා එල්ල වී තිබේ. නාලක ගොඩහේවා මහතා මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ජෝර්ජ් ස්ටුවර්ට් ස්ටොක්බ්‍රෝකර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඒ අනුව අධිකරණය මගින් ඔවුන් සියලු දෙනාගේම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසටද නියෝගයක් ලබා දී ඇති අතර, ඔවුන් සියලු දෙනාම 2008 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කර ඇති කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙතද නියෝග ලබා දී තිබේ.

එසේම මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් 2009 වසරේ සිට 2014 දක්වා කාලය තුළ ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි සිදූවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද සොයා බැලීමට කටයුතු කෙරිණි. මෙම කාලසීමාව වත්මන් ජනාධිපති ගෝටාභය රාපක්ෂ මහතා නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයාව සිටි අවධියද විය.

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය මගින් දිලිත් ජයවීර මහතාගෙන් ප්‍රශ්න කර ඇත්තේ 2015 මැයි මාසයේ 14 වැනිදාය. එහිදී විනාඩි 45ක ප්‍රකාශයක් ඔහුගෙන් සටහන් කර තිබේ.

මෙහිදී කරුණු 5ක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇතැයි පැවසෙයි. ඒ අනුව ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා කොටසක වටිනාකම රුපියල් 30ක් පමණවූ සිය කොටස් ප්‍රමාණය, එක් කොටසක් රුපියල් 62කට ඉන්දියානු සමාගමට විකුනද්දී, ඒ පිළිබඳව දැන සිටියේද ? එම අවස්ථාවේදී ලංකා හොස්‌පිටල් ආයතනයේ ප්‍රචාරක දැන්වීම් බාරව සිටියේ ‘ට්‍රයි ඇඩ්’ ආයතනය ද ? එම දැන්වීම් කොන්ත්‍රාත්තුව ලබා ගත්තේ කෙසේද ? ලංකා හොස්‌පිටල් ආයතනයේ කොටස් ‘ට්‍රයි ඇඩ්’ ආයතනය විසින් මිලදී ගෙන තිබුනේ ද? හැරී ජයවර්ධන මහතා කොටස් විකුණන අවස්ථාවේදී ‘ට්‍රයි ඇඩ්’ ආයතනය සතු කොටස් විකුනුවේද ? යන කාරනා ඒ අතර තිබී ඇත.

දිලිත් ජයවීර මහතා ‘ට්‍රයි ඇඩ්’ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. එසේම එම ඒකකය මගින් වරුනි අමුණුගම මහත්මිය ද කැඳවා ඇතිතේ ඇය ‘ට්‍රයි ඇඩ්’ ආයතනයේ අධ්‍යක්ෂිකාවක වීම නිසාය.

එසේම හැරී ජයවර්ධන මහතාගෙන්ද එම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කර ඇතැයි අතර ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි හිටපු සභාපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද එම කොට්ඨාශය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඊයේ (ජූලි 02) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකාහොස්පිටල්ස්පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 45.00ක් ලෙස සටහන්ව තිබුණි.

මේ අතර 2020 දෙසැම්බර් 31 වැනිදා වන විට ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වය අතරින් 64,120,915ක් එනම් 28.66%ක හිමිකාරීත්වයක් ඉන්දියාවේ Fortis Global Healthcare Internationa (Pte) Ltd වෙත හිමිව තිබේ. එසේම කොටස් 58,781,308ක් එනම් 26.27%ක ප්‍රතිශතයක්හිමිව ඇත්තේ ශ්‍රී ලංකා එක්ෂණ සංස්ථාවේ – ජීවිත රක්ෂණ අරමුදලටයි. මීට අමතරව තවත් කොටස් 56,080,643ක් එනම් 25.07% ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා එක්ෂණ සංස්ථාවේ – සාමාන්‍ය රක්ෂණ අරමුදලට හිමිව ඇත.

ඒ අනුව සමාගමේ තනි වැඩිම කොටස් හිමිකාරීත්වය Fortis Global Healthcare Internationa (Pte) Ltd වෙත හිමිව තිබෙන අතර, වැඩිම කොටස් හිමිකාරීත්ව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (51.34%ක්) වෙත හිමිව තිබේ.

Visits: 1066