ජූලි 20 වැනිදා JAT Holdings මූලික නිකුතුව සිදු වෙන්නේ මෙහෙමලු?

කොළඹ කොටස් හුවමාරුව තුළ සිය මූලික කොටස් නිකුතුවක් සිදු කිරීම සඳහා සැලසුම් කර සිටින මෙරට මුල් පෙළේ තීන්ත ආලේපන සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන JAT Holdings Limited සමාගම ඒ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය මේ වනවිට අනුමත වී ඇතැයි පවසයි.

ඒ අනුව එම සමාගම මගින් සිදු කරන සිය මූලික කොටස් නිකුතුවට අදාළ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලදී ගැනීම සඳහා ලබන ජූලි 20 වැනිදා විවෘත කරන බව එම සමාගම ඊයේ දැනුම් දී තිබේ.

මෙහිදී අදාළ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා ඉල්ලුම් කිරීම වෙනුවෙන් වන ලැයිස්තුගත කිරීම එකිනෙක හා සම්බන්ධ කෙරුණු ක්‍රමවේද දෙකක් ඔස්සේ සිදු කරන බවද JAT Holdings Limited සමාගම පවසයි.

කෙසේ වෙතත් ආසන්න කාලසීමාවේදී මෙවැනි ක්‍රමයක් කොළඹ කොටස් හුවමාරුවෙහි මූලික කොටස් නිකුතුව වෙත ඉදිරිපත් වූ පළමු අවස්ථාව බවද කොටස් තැරැව්කාර සමාගම්වල අදහස වී තිබේ.

ඒ අනුව සමාගම සඳහන් කරන ආකාරයට ලබන ජූලි 20 වැනිදා සිට ඉල්ලුම් කිරීම සඳහා නිකුත් කෙරෙන සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 55ක් (55,814,700ක්) මෙහිදී මිලදී ගැනීම සඳහා (Offer for Subscription) ලබා දෙන බවත්, තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 27ක් (27,090,146ක්) අලෙවි කිරීමක් සඳහා (Offer for Sale) අවස්ථාව ලබා දෙන බවත් පැවසෙයි.

මෙහිදී අදාළ ක්‍රමවේද දෙක යටතේම නිකුත් කෙරෙන මූලික කොටස් නිකුතුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 27ක් බැගින් මිල කෙරී ඇති බවත් සඳහන් වෙයි.

මේ අතරින් Offer for Subscription කොටස් යනු සමාගම මගින් මෙම මූලික කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් වෙත ඉදිරිපත් කරන කොටස් බව තැරැව්කාර සමාගම් පවසයි. එම කොටස් ඉල්ලුම් කිරීම හරහා රැස් කරගන්නා ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම සමාගම වෙත බැර වෙයි. එනම් මෙහිදී එය රුපියල් බිලියන 1.5ක (1,506,996,900) මුදලකි.

එසේම Offer for Sale යනු JAT Holdings Limited සමාගමෙහි වත්මන් කොටස් හිමිකරුවන්ට මෙම හිමිකම් නිකුතුව සඳහා ඉදිරිපත් කළ හැකි තමන්ට අයත් කොටස් ප්‍රමාණයයි. ඒ අනුව ආයෝජකයන් මෙම කොටස් මිලදී ගැනීම හරහා රැස් කරගන්නා ප්‍රාග්ධනය සමාගමට නොව අදාළ කොටස්හිමිකරුවා වෙත හිමි වීමක් සිදු වන බවත් පැවසෙයි. මෙහිදී එහි වටිනාකම රුපියල් මිලියන 731 ක (731,433,942) මුදලකි.

මේ අතර, මෙවැනි Offer for Sale ක්‍රමයක් හරහා කොටස් හිමිකරුවන්ට අදාළ සමාගම සතුව ඇති සිය කොටස් හිමිකාරීත්වය අඩු කරගැනීමේ අවස්ථාවක් උදාවන බවත් සඳහන් වෙයි. මෙහිදී ඕනෑම තනි පුද්ගල ආයෝජකයෙකුට, සමාගමකට, විදේශීය ආයෝජන ආයතනයකට හෝ සුදුසුකම් ලත් ආයතනික ගැනුම්කරුවෙකුට මෙම කොටස් මිලදී ගැනීමේ හැකියාව පවතී.

ඒ අනුව මෙම සමස්ත මූලික කොටස් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2.2ක් වන අතර, මෙහිදී එය සමාගමේ කොටස් ප්‍රතිශතයෙන් 16.4%ක් බවත් JAT Holdings Limited සමාගම පවසා සිටියි.

අද වනවිට JAT හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 71.37%ක් එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඒලියන් ගුණවර්ධන මහතා වෙත ඍජුවම අයිතිව ඇත. එසේම J Chem Coating පෞද්ගලික සමාගම වෙත 8.76%ක ප්‍රතිශතයක්ද අක්බාර් බ්‍රදර්ස් සමාගම යටතේ ක්‍රියාත්මක Falcon Trading පෞද්ගලික සමාගම වෙත 5.92% ක කොටස් ප්‍රතිශතයක්ද හිමිව තිබේ. මීට අමතරව NDB Zephyr Partners Limited මගින් කළමනාකරණය කරන Emerald Fund 1 Limited නම් අරමුදලක් සතුව තවත් 5.92%ක කොටස් හිමිකමක් සතුව ඇතැයිද සඳහන් වෙයි.

Visits: 761