රක්ෂණ සංස්ථාව LOLC කොටස් මිලියන 2.5ක් මිලදී අරගෙන

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ඊයේ (ජූනි 29දා) දිනයේදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් මිලියන 2.5ක ප්‍රමාණයක් රුපියල් බිලියනයක වටිනාකමකට මිලදී ගෙන ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ඊයේ දිනයේදී LOLC තුළ කොටස් මිලියන 2.58ක හුවමාරු වීමක් දැකගත හැකි වී තිබෙන අතර, ගනුදෙනු 1,856ක් හරහා එය සිදුව තිබේ.

මෙම ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 1.06ක් ලෙස සටහන්ව ඇත. එසේම ඊයේ දිනය අවසානයේදී LOLC හි කොටසක වටිනාකම රුපියල් 401.75ක් බවට පත්ව තිබූ අතර, එය ඊට පෙර දිනයේදී  කොටසක වටිනාකම වූ රුපියල් 418.00ට සාපේක්ෂව රුපියල් 16.25කින් එනම් 3.89෴කින් අඩුවීමකි.

මෙහිදී LOLC කොටස් 130,813ක් කොටසක් රුපියල් 415ක් බැගින්ද තවත් කොටස් 100,101ක් රුපියල් 415.25ක් බැගින්ද ගනුදෙනු වී ඇත. එසේම ඊට පෙර ඊයේ දිනය ආරම්භයේදී කොටසක් රුපියල් 419ක් සහ 418ක් බැගින් ගනුදෙනු වී තිබේ.

2020 මාර්තු 31 වැනිදා වනවිට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි මුල් කොටස් හිමිකරුවන් 10 දෙනා අතර LOLC කැපිටල් (පෞද්) සමාගම (කොටස් 147,265,983ක්),  ඉෂාර නානායක්කාර (91,613,792ක්), කොමර්ෂල් බැංකුව/ඉෂාර නානායක්කාර (79,000,000ක්), සම්පත් බැංකුව/ඉෂාර නානායක්කාර (61,774,000ක්), කේ.යූ. අමරසිංහ මහත්මිය 23,760‍,000ක්, සේවක අර්ථසාධක අරමුදල  (15,182,259ක්), BBH- මැතිව් ඉන්ටර්නැෂනල් ෆන්ඩ් – මැතිව්ස් ඒෂියා ග්‍රෝත් ෆන්ඩ් (11,399,052ක්), කාෂ්‍යප කැපිටල් (පෞද්) සමාගම (8,671,625ක්), BBH- මැතිව් එමර්ජින්ග් ඒෂියා ෆන්ඩ් (6,627,893ක්) සහ අයි. නානායක්කාර මහත්මිය (2,827,948ක්) යනාදිය සිටියි.

Visits: 771