වෙළෙඳ නාම තුනක් එක් කරමින් දිලිත් ‘ජෝර්ජ් ස්ටුවර්ට් කන්සියුමර්’ අරඹයි

ජෝර්ජ් ස්ටුවර්ට් පෞද්ගලික සමාගම යටතේ වන වෙළෙඳ නාම තුනක් යොදා ගනිමින් ජෝර්ජ් ස්ටුවර්ට් කන්සියුමර් (පෞද්) සමාගම ලෙස නව සමාගමක් පිහිටුවන්නට ජෝර්ජ් ස්ටුවර්ට් පෞද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා පසුගියදා පියවර ගත් බව පවසයි.

ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් පෞද්ගලික සමාගමට අයත් Seri යන සනීපාරක්ෂක නිෂ්පාදන වෙළෙඳනාමය, Sterril යන විෂබීජනාශක නිෂ්පාදන වෙළෙඳනාමය සහ රෝසා යන තේ වෙළෙඳනාමය එකට එකතුකරමින් මෙලෙස ජෝර්ජ් ස්ටුවර්ට් කන්සියුමර් (පෞද්) සමාගම දියත් කිරීම සිදුව තිබේ.

ලංකාවේ පැරණිතම සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් (පෞද්) සමාගම 1835 වසරේදී පිහිටුවා තිබේ. අද වනවිට තේ සහ අපනයන, ඖෂධ, ට්‍රැවල් සහ ලෙෂර්, ගුවන් සේවා, මූල්‍ය සේවා, රක්ෂණ සහ රසායනික ද්‍රව්‍ය යන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සමාගම සිය ව්‍යාපාර මෙහෙයුම් විවිධාංගීකරණය කර තිබේ.

ඒ අනුව මේ අතරින් Seri වෙළෙඳ නාමය Seri Naturals (පෞද්) සමාගම මගින් වෙළෙඳ පොළට නිකුත් කරයි. 2011 වසරේදී ආරම්භ කෙරුණු එම සමාගම මගින් ලොව ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදන මෙරටට හඳන්වාදීම සිදු කරයි.

එසේම Sterril විෂබීජනාශක පිරිසිදුකරන දියරය ජෝර්ජ් ස්ටුවර්ට් ලැබෝටරීස් මගින් පෞද්ගලික සමාගම මගින් වෙලෙඳ පොළ නිකුත් කරයි. දෑත් පිරිසිදුකාරවලට අමතරව අද වනවිට විවිධ මතුපිට පිරිසිදු කිරීම සඳහා යොදා ගත හැකි විෂබීජනාශක නිෂ්පාදනයද එම සමාගම මගින් සිදු කරයි.

මීට අමතරව රෝසා කහට වෙළෙඳ නාමය ජෝර්ජ් ස්ටුවර්ට් ටී (පෞද්) සමාගම යටතේ පවතින්නකි. ජෝර්ජ් ස්ටුවර්ට් යටතේ වෙළෙඳ පොළට නිකුත් කර ඇති තේ නිෂ්පාදන අතරින් දේශීය පාරිභෝගිකයා වෙත ජනප්‍රිය සන්නාමයක් ලෙස රෝසා කහට සන්නාමය ඉදිරිපත් කර ඇත.

Visits: 321