ජාතික අවශ්‍යතාව සපුරාලීමට SLT-MOBITEL සිය සබඳතාව ශක්තිමත් කරයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT-MOBITEL, සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර ඇතැයි පවසයි. වසංගත තත්ත්වය ආරම්භයේ පටන් මේ දක්වා ජාතික ඩේටා ඉල්ලුම දෙගුණයක් බවට පත්ව ඇති බැවින් එම අවශ්‍යතාව සපුරාලීමට මෙම පියවර ගෙන ඇති බව එම සමාගම සඳහන් කරයි.

විශේෂයෙන් අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාල සහ 4G සබඳතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පසුගිය වසර කිහිපය පුරා වාර්ෂිකව රු. බිලියන 25 ක් ආයෝජනය කර ඇති බව ද SLT-MOBITEL නිවේදනය කර සිටී. කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමූ සෑම අවස්ථාවකදී ම 30% ක වර්ධනයක් පෙන්නුම් කළ ඩේටා ඉල්ලුම සපුරාලීමටත්, අන්තර්ජාල සේවා භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන් වේගවත් සහ පුළුල් සේවාවක් ලබා දීමටත් මෙම ආයෝජනය සිදුකරන ලදි.

පසුගිය වසරේදී අනපේක්ෂිත ලෙස දිවයින පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය හේතුවෙන් ව්‍යාපාර, අධ්‍යාපන සහ සමාජ ක්‍රියාකාරකම් අන්තර්ජාල සබඳතා මත බෙහෙවින් පදනම් විය. ඒ හේතුවෙන් සබඳතා සඳහා පවතින ඉල්ලුම විදුලි සංදේශ සමාගම්වල ධාරිතාව ඉක්මවූ බැවින් එම ඉල්ලුම සපුරාලීම විදුලි සංදේශ ක්ෂේත්‍රයට අභියෝගයක් විය.

එවැනි පසුබිමක් තුළ, SLT-MOBITEL 10,000 කට අධික සිය කාර්යමණ්ඩල සාමාජික පිරිස සමග අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් නවෝත්පාදන විසඳුම් සමගින් ජාතික සබඳතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතා සාක්ෂාත්කර ගැනීමට සහයෝගය ලබා දීමට කටයුතු කරමින් සිටී.
ගෘහස්ථ සහ ජංගම සම්බන්ධතා

තම පුරෝගාමී Fibre-optic සහ ADSL බ්‍රෝඩ්බෑන්ඩ් ජාල සමගින් ශ්‍රී ලාංකිකයන්ට බාධා රහිත සම්බන්ධතාවන් පිරිනැමීමට SLT-MOBITEL කටයුතු කළේ ය. මේ නිසා සංචරණ සීමා සහ ඇඳිරිනීතිය පැනවීම් සිදු වූ අවස්ථා වලදී පවා ජනතාවට ගැටලුවකින් තොරව තම නිවෙස් වල සිටම රැකියා හා අධ්‍යාපන කටයුතු වල මෙන්ම විනෝදාස්වාද ක්‍රියාකාරකම් වලද යෙදීමට හැකියාව ලැබිණි. මේ වනවිට ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා, තම සේවාවන් වැඩිදියුණු කිරීමට සහ ආවරණ පරාසය පුළුල් කිරීමට SLT-MOBITEL ආයෝජනයන් සිදුකරමින් සිටී.

SLT-MOBITEL ජංගම දුරකථන ජාලය දැනටමත් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය කරන නමුත්, දුෂ්කර භූමි ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව අතරින් වැඩි පිරිසකටද සම්බන්ධතා ලබාදීම සඳහා විවිධ උත්සාහයන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.
මෙම උත්සාහයන් සාර්ථක වන තෙක්, ආවරණය අවම වන ප්‍රදේශ වල සංඥා ග්‍රහණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා රවුටර වලට බාහිර ඇන්ටනාවක් සම්බන්ධ කිරීම ඇතුළු නිර්මාණශීලී විසඳුම් කිහිපයක් හඳුන්වා දීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

පාසල් වසා තැබෙන කාලය තුළදී දරු දැරියන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන් සලසා දීමේ අරමුණින් මාර්ගගත ඉගෙනුම් කටයුතු සහ අධ්‍යාපනික වෙබ් අඩවි භාවිතා කිරීම සඳහා අඩු වියදම් දත්ත සැලසුම් පිරිනැමීමට SLT-MOBITEL විසින් පියවර ගන්නා ලදි. එමෙන්ම රජය මගින් මෙහෙයවනු ලබන විද්‍යුත් ඉගෙනුම් සේවාවන් නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ලද අතර, PEO TV සහ PEO TV GO හරහා ‘විදෙස ටීවී’ වැනි අධ්‍යාපනික නාලිකා විකාශය කිරීම සිදුකෙරිණි.

ජාතික මට්ටමේ වැඩසටහන්
නවීන මෙවලම්, පදනම් සහ තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණයෙන් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම සඳහා SLT-MOBITEL සමාගම සුවිශාල කාර්යභාරයක් ඉටුකරයි.

එම මෙහෙවරේ තවත් අදියරක් ලෙස SLT-MOBITEL සමාගම ‘ගමට සන්නිවේදනය’, ‘ගම සමග පිළිසඳර’ වැනි ජාතික මට්ටමේ වැඩසටහන් සඳහා දායකත්වය ලබාදෙමින් ග්‍රාමීය ප්‍රදේශ වෙත ශක්තිමත් සබඳතාවක් ලබාදීම සඳහා කැප වී සිටී.

දිගුකාලීන වශයෙන් ආවරණය පුළුල් කිරීම සඳහා විවිධ අනුමැති, කුළුණු ඉදිකිරීම් සහ මෙවලම් ආනයනය කිරීම ඇතුළු දැවැන්ත පියවර රැසක් අවශ්‍ය වන බැවින් ප්‍රමාණවත් තරම් සබඳතා ආවරණය නොමැති ප්‍රදේශ තුළ සබඳතාව ශක්තිමත් කිරීම සඳහා SLT-MOBITEL සමාගම විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව (TRCSL) සමග අත්වැල් බැඳගනිමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මේ වන විට ද කටයුතුකරමින් සිටී. විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මූලිකත්වයෙන් එම කොමිෂන් සභාව ලබා දී ඇති සහයෝගය හේතුවෙන් මේ වන විට ද සබඳතා ආවරණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත.

ප්‍රජා සත්කාර
SLT-MOBITEL මේ දක්වා COVID-19 අරමුදලට රු. මිලියන 50 ක මුදලක් පරිත්‍යාග කර ඇත. එමෙන්ම, COVID-19 මර්දනය කිරීමේ සටනේදී සෞඛ්‍ය අංශ වලට අත්වැලක් වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

මීට අමතරව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ COVID-19 එන්නත ලබාගැනීම සඳහා eChannelling සේවාව හරහා ලියාපදිංචි වී, වේලාවක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

තවද මේ වනවිට ජනතාව අතර මුහුණු ආවරණ මිලියනයකට අධික සංඛ්‍යාවක් නොමිලේ බෙදාදීමටද සමාගම පියවර ගෙන ඇති අතර, COVID-19 මෙන්ම මෑතකදී ඇතිවූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විපතට පත් ජනතාව අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමද සිදුකරන ලදි.

අනාගත සැලසුම්
පරිපූර්ණ ඩිජිටල් සේවා සම්පාදකයෙකු බවට පත්වීමේ ගමන තුළ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස SLT-MOBITEL සමාගම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේවන විට දැවැන්ත ආයෝජන සිදුකරමින් පවතී. එකිනෙකා සමග මෙන්ම මුළුමහත් ලෝකය සමග සම්බන්ධතා ගොඩනංවමින්, ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා වන පොදු ජාතික දැක්ම සාක්ෂාත් කරගැනීමේ උත්සාහය කෙරෙහි SLT-MOBITEL සිය නොසැලෙන අවධානය යොමුකර තිබේ.

Visits: 129