LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් CSEහි සිව්වැනියට වටිනාම සමාගම වෙයි

LOLC සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL) සමාගම ඊයේ දිනයේදී එහි සිව්වැනියට වටිනාම සමාගම බවට පත්වූ බව වාර්තා පවසයි. ඒ අනුව පසුගිය මැයි මාසය අවසානයේදී 46 වැනි ස්ථානයේ තිබූ එම සමාගම එම ස්ථානයට පත්වීම සුවිශේෂී අවස්ථාවක් බවටත් පත්ව තිබේ.

ආසන්න සති කිහිපයේදී LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ. ඊයේ (ජූනි 28) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී එම සමාගමේ කොටසක අගය රුපියල් 495ක් දක්වා රුපියල් 94.75 කින් එනම් 23.6%කින් ඉහළ යාම සිදු විය.

එසේම පසුගිය සතියේදී එය රුපියල්236.25 සිට 400.25ක් දක්වා 114% කින් ඉහළයාමක්ද සිදු විය. මීට අමතරව ඊට පෙර සතියේදී රුපියල් 164ක් දක්වා එය රුපියල්89.80කින් එනම් 121% කින් ඉහළ යාමක්ද සිදු වී තිබෙන බව මේ පිළිබඳව අද දිනයේදී විශ්ලේෂණයක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

මෙම වටිනාකම් ඉහළ යාමත් සමගින්ම LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඊයේ දිනයවනවිට රුපියල් බිලියන 117.78ක් බවට පත්විය. ඒ අනුව අද වනවිට රුපියල් බිලියන 198.6ක ප්‍රාග්ධනීකරණයක්ද සමගින් කොළඹ කොටස් හුවමාරුවෙහි වටිනාම සමාගම බවට පත්ව සිටින LOLC සමාගමට සහ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම යන සමාගම්වලට පසුව සිව්වැනි ස්ථානයේ එය පසුවෙයි.

පසුගිය මැයි මාසයේදී LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 73ක් ලෙස සටහන්ව තිබූ අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 17.36ක් විය. එසේම එය 46 වැනි ස්ථානයේ පසුවිය. එසේම මැයි මාසයේදී ගනුදෙනු 17ක් හරහා සමාගමේ කොටස් 1,277ක් පමණක් හුවමාරු වී තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් 78,320ක් පමණක් විය.

කෙසේ වෙතත් පසුගිය සතියේදී සමාගමෙහි කොටස් 76,065ක් ගනුදෙනු 1,114ක් හරහා සිදුව ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 23.7ක් බවට පත්ව තිබේ. පෙර සතියේදී එය ගනුදෙනු 509ක් හරහා සිදුවුණු කොටස් 40,853ක හුවමාරුවක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 4.9ක් ලෙස සටහන්ව ඇත.

ඒ අනුව අවසන් සති දෙකක කාලයේදී LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම 235%කින් ඉහළ නැග ඇත. මෙම අවස්ථාව සම්බන්ධයෙන් පළමුවරට කොළඹ කොටස් හුවමාරුව ඊයේ (28දා) එම සමාගමෙන් විමසීමක් සිදු කර ඇතිඅතර, ඊට පිළිතුරු දී ඇති සමාගම කොටස් වටිනාකම් ඉහළ යාම සඳහා සමාගමමගින් අනාවරණය නොකළ කිසිදු හේතුවක් නොපවතින බව පවසා තිබේ.

කෙසේ වෙතත් LOLC සමූහට 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍යවර්ෂයේදී අත්කරගත් කාර්යසාධනය මෙලෙස වෙළෙඳපොළ තුළ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සඳහා වන උනන්දුව ඉහළ යාමටත්, අසාමාන්‍ය ගනුදෙනු සිදුවීමටත් හේතුවන්නට ඇතැයි එමසමාගමේ සභාපති කපිල ජයවර්ධන මහතා මෙහිදී කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

Visits: 693