NIFL සහ NEST එක්ව ASPI 7,900 සීමාවට ගෙන එයි

අද (ජූනි 28) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දිනවලදී මෙන් මිශ්‍ර ස්වභාවයක් ගත් බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් NIFL සහ NEST හි කොටස් වටිනාකම්හි දිනය තුළ පිළිවෙලින් 25%ත් 20% ත් යන ප්‍රතිශතවලින් ඉහළ නැංවීමට දායක වී ඇත. මෙම සමාගම් දෙකෙහිම එකතුවෙන් අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය 7,900ක සීමාවක් දක්වා ඉහළ යාම සිදු විය.

මේ අතර රටෙහි පවතින ආර්ථික තත්ත්වය, කොවිඩ්-19 හි නව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ඇතුළු කාරණා පිළිබඳව අවධානය හේතුවෙන් වටිනා සමාගම්හි කොටස් අලෙවියක්ද අද දිනයේදී දැකගත හැකි වූ බව තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,850.81ත් ඒකක 7,903.00ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,877.84ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූනි 25) දිනයට සාපේක්ෂව ඒකක 68.69ක් එනම් +0.88%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 83ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 105ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+50.92), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+29.21), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+7.51), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+4.52), සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී CCS (+4.29), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.55), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-3.23), ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.5), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-2.37), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.37) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,037.78ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (25දා) ‍ට සාපේක්ෂව ඒකක 4.85 ක එනම් -0.16%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.57ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (25දා) වාර්තා කළ රුපියල් බිලියන 1.21ට සාපේක්ෂව 29% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.46ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.81%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 26.98ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 41.95ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 14.97කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.37ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.85 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 19.48ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 463ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 255ක සහ රුපියල් මිලියන 205ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 171