හැටන් ප්ලාන්ටේෂන්ස් රු.මිලියන 455කට ජල විදුලි උත්පාදන සමාගමක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (HPL.N0000) සමාගම ජල විදුලි උත්පාදන සමාගමක් වන මාර්ක් මැරීන් සර්විසස් (පෞද්) සමාගමෙහි 95.43%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් බව පවසයි.

ඊයේ (ජූනි 21) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මාර්ක් මැරීන් සර්විසස් (පෞද්) සමාගමෙහි කොටස් හිමිකරුවන් වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, සී.එෆ් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්) සමාගම, ඇල්බර්ඩ් අන්ඩ්‍රේ අනිල් මාකලන්ද, ගිහාන් ක්‍රිස්ටෝපර් ජෝන් මාකලන්ද, ෂ්‍යාම් ලුවී මාකලන්ද, ප්‍රදීප් ෂර්මාල් පිලිප් මාකලන්ද, රොෂාන් ජේම්ස් මාකලන්ද සහ මාර්ක් මැරීන් සර්විසස් යන සමාගම් අතර ඇති කරගත් කොටස් අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ එකඟතාවක් යටතේ මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ.

මෙහිදී සමාගමෙහි කොටසක් රුපියල් 108.84ක් බැගින් මිලදී ගැනීමට හැටන් ප්ලාන්ටේෂන් සමාගම ඉදිරිපත්ව ඇති අතර, මාර්ක් මැරීන් සර්විසස් (පෞද්) සමාගම ඊට කැමැත්ත පළ කර ඇත. ඒ අනුව මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 455ක් (455,000,000ක්) ලෙස සටහන්ව ඇත.

සමාගම් මගින් අනාවරණය කර ඇති අන්දමට මාර්ක් මැරීන් සර්විසස් (පෞද්) සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 39.08%ක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සතුවෙයි. එසේම 17.71%ක කොටස් ප්‍රතිශතයක් සී.එෆ්. ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්) සමාගමට අයත් වෙයි. ඒ අනුව සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 58.12%ක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහයට අයත් වෙයි.

1997 වසරේදී සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම සහ මාර්ක් මැරීන් සර්විසස් සමාගම කුඩා ජලවිදුලිබලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පැමිණි එකඟතාවකට අනුව 1999 වසරේදී වටවලදී මෙම බලාගාරය ඉදි වුණි. එහි ධාරිතාව මෙගාවොට් 2.5ක් වූ බව පැවසෙයි.

මාර්ක් මැරීන් සර්විසස් සමාගමේ ඉතිරි කොටස් 38.64% ක ප්‍රතිශතය ඇල්බර්ට්, ගිහාන්, ෂ්‍යාම්, ප්‍රදීප් සහ රෙහාන් මාකලන්ද යන මහත්වරුන් හට සහ මාර්ක් මැරීන් සර්විසස් සමාගම වෙත හිමිව තිබේ.

ඊයේ පැමිණුනු මෙම එකඟතාව යටතේ හැටන් ප්ලාන්ටේෂන්ස් සමාගම අදාළ අත්පත් කරගැනීම වෙනුවෙන් මූලික ගෙවීමක් ලෙස රුපියල් මිලියන 250ක (250,000,000) මුදලක් අදාළ කොටස් හිමිකරුවන් වෙත ගෙවා තිබේ. ඒ අතරින් සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී වෙත හිමිව ඇති මුදල රුපියල් මිලියන 102කි.

එසේම ඉතිරි රුපියල් මිලියන 205ක (205,000,000) ක මුදල ඉදිරි කාලයේදී ගෙවීමටත් හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සහ මාර්ක් මැරීන් සර්විසස් (පෞද්) සමාගමෙහි කොටස් හිමිකරුවන් එකඟතාවකට පැමිණ තිබේ.

2020 මාර්තු 31 වැනිදා වනවිට හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 75.65% ක හවුල් කොටස් ප්‍රතිශතයක් හිමිව ඇත්තේ නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව/ලෝටස් රිනීවබල් එනර්ජ් (පෞද්) සමාගම වෙතයි.

2019 වසරේදී මෙම අත්පත් කරගැනීම සිදු වුණු අතර, එතෙක් හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමෙහි සමූහ සමාගමක් ලෙස පැවතුණි. ලෝටස් රිනීවබල් එනර්ජි (පෞද්) සමාගම සිංගප්පූරුවෙහි C&G සමාගමෙහි මෙරට පරිපාලිත සමාගමකි.  

එසේම තවත් 12.28%ක තනි කොටස් ප්‍රතිශතයක හිමිකමක්ද ලෝටස් රිනීවබල් එනර්ජි (පෞද්) සමාගම වෙත හිමිව තිබුණි. කෙසේ වෙතත් 2020 දෙසැම්බර් මාසයේදී මෙම 12.28%ක ප්‍රතිශතය රුපියල් මිලියන 290කට මිලදී ගැනීමට රිජන්සි ටීස් (පෞද්) සමාගම කටයුතු යොදා තිබුණි.

හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි වැඩි හිමිකාරීත්වය සහිත ලෝටස් රිනීවබල් එනර්ජි සමාගම් සමූහය ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාප්තව පවතින බහුජාතික පුනර්ජනනීය බලශක්ති සමාගමකි. ශ්‍රී ලංකාව තුළ ලෝටස් රිනීවබල් එනර්ජි පෞද්ගලික සමාගම සහ ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී ලෙස එම සමාගම ක්‍රියාත්මක වෙයි.

Visits: 404