සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අද (21දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව එම අමාත්‍යාංශය පවසයි.

මෙරට ජනතාව මුහුණ දෙමින් සිටින පීඩිත තත්වයන් හමුවේ තවදුරටත් ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් සහල් මිළ ඉහළ දැමීමට සහල් නිෂ්පාදනකරුවන් හා වෙළෙඳුන් විසින් කටයුතු කිරීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

“අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැංවීම සඳහා වී තොග හා සහල් තොග සඟවා මෙරට වෙළෙඳපොල තුළ කෘතිම සහල් හිඟයක් මවා පෑමට ගත් උත්සාහයන් සෑම අන්දමකින්ම ව්‍යර්ථ කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩසටහන් සඳහාද මෙම සහල් නිෂ්පාදනකරුවන් විසින් එකඟත්වය පළ කළද දිගින් දිගටම කෘතිම සහල් හිඟය පවත්වා ගැනීමට කටයුතු කිරීම මෙම තීරණයට එළඹීමට හේතු විය.” අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

දේශීය ගොවියා සහ සහල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණින් සහල් හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමුවද, සහල් නිෂ්පාදකයින් හා වෙ‌ළෙඳුන් විසින් මහජනතාවගේ අවශ්‍යතාවයෙන් හා රජයේ ප්‍රතිපත්තියෙන් අනිසි ප්‍රයෝජන ගැනීමේ අරමුණින් මෙම මිළ ඉහළ නැංවීම සිදු කරන බවත්, එය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කිසිදු ඉඩක් නොතබන බවත් වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව රජයට සහල් ආනයනය කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම සහල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Visits: 71