එල්සැල්වදෝරයේ Bitcoin ඉල්ලීම ලෝක බැංකුව ප්‍රතික්ෂේප කරයි

Bitcoin ඩිජිටල් මුදල් ඒකකය එල්සැල්වදෝරය තුළ පිළිගත් මුදල් ඒකකයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එරට රජය ලෝක බැංකුවෙන් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙහිදී ඊට කරුණු දක්වා ඇති ලෝක බැංකුව මෙම Bitcoin සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය පිළිබඳ කාරණා සහ Bitcoin රැස් කරගැනීමේදී සිදුවන පරිසර හානිය පිළිබඳව සලකමින් මෙම තීරණය ගත් බව පවසා තිබේ.

මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යයක් වන එල්සැල්වදෝර රජය මෙම මාසය මුලදී නිවේදනයක් නිකුත් කරමින්, Bitcoin ඩිජිටල් මුදල් ඒකකය නීත්‍යානුකූලව ගනුදෙනු සඳහා භාවිතයට ගන්නා රට බවට පත්වීමට සැලසුම් කරමින් සිටින බව පවසා තිබුණි.

එහිදී එරට ජනාධිපති නයිබ් බුකෙලේ මෙම ක්‍රිප්ටෝමුදල් ඒකක සම්බන්ධ යෝජනාව කොංග්‍රසය වෙත ඉදිරිපත් කළ අතර, එරට කොංග්‍රසයද ඊට අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව දින 90කට (මාස 3කට) පසුව මෙය නීත්‍යානුකූල තත්ත්වයට පත්වීමට නියමිතව තිබේ.  

එහිදී මෙම Bitcoin ඩිජිටල් මුදල් ඒකකය එක්සත් ජනපද ඩොලරය හා සමාන්තරව මුදල් ගනුදෙනු සඳහා යොදා ගැනීමේ අරමුණක් පවතින බවත් එල්සැල්වදෝර් රජය සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් මෙලෙස එම නිත්‍යානුකූල බව රට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ලෝක බැංකුවෙන් ඉදිරිපත් කළ ඉල්ලිම ප්‍රතික්ෂේපවීමත් සමගින්ම ඉදිරි මාස තුනක කාලයක් ඇතුළතදී Bitcoin එරට භාවිත කරන මුදල් ඒකකයක් බවට පත් කිරීමේ රජයේ උත්සාහයන් වෙත යම් බාධාවක්ද එල්ල වී ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කර ඇති එල්සැල්වදෝරයේ මුදල් අමාත්‍යවරයා, තම රජය ලෝක බැංකුවෙන් විමසා සිටියේ මෙලෙස ක්‍රිප්ටෝමුදල් ඒකකයක් නිල ගෙවීම් ක්‍රමවේදයක් ලෙස යොදා ගැනීම සඳහා වන තාක්ෂණික සහයෝගය ලබා දීම පමණක් බව පවසා ඇත.

එසේම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත්, ඔවුන් රට වෙත මෙම Bitcoin හඳුන්වාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොදැක් වූ බවත් පවසා ඇත.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සතියේදී අදහස් දැක්වීමකින් සිදු කරමින් එල්සැල්වදෝරය Bitcoin භාවිතයට යොමුවුවහොත් %සාර්වආර්ථික, මූල්‍යමය සහ නීතිමය කාරණා^ කිහිපයක් මතු වියහැකි යැයි පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම Bitcoin රට තුළ නීතිගත කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී කරුණු දක්වා සිටි එරට ජනාධිපති බුකෙලේ, තම රජය ඉතිහාසය අලුතින් ලියූ බවත්, මෙම තීරණයත් සමගින්ම විදෙස් රටවල සිටින එල්සැල්වදෝර වැසියන්ට සිය මව්රට වෙත ඉතාමත් පහසුවෙන් මුදල් එවිය හැකි බවත් පවසා තිබුණි.

අද වනවිට එල්සැල්වදෝරයේ ආර්ථිකය ඉතාමත් ප්‍රබල ලෙස ප්‍රේෂණ එසේත් නොමැති නම් විදේශයන්හි සිට එරටට පැමිණෙන මුදල් මත යැපී සිටියි. දත්ත අනුව එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්ම ප්‍රේෂණ මුදල් වෙයි.

එහිදී මිලියන දෙකකට අධික එල්සැල්වදෝර වැසියන් පිරිසක් රටින් පිටත වාසය කරන අතර, සෑම වසරකදීම ඔවුන් එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක පමණ මුදලක් එරටට එවන බවත් එම දත්ත වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 183