NIFL සහ WIND දායකත්වයෙන් කොටස් හුවමාරුවෙහි වාර්තා අලුත් වෙයි

අද (ජූනි 17) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් වඩාත් සාර්ථකත්වයක් පෙන්නම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් වටිනාකම්හි ඉහළයාම් නිසා සියලු කොටස් මිල දර්ශකය මාස 4කට පසු ඉහළම අගයට පත්විය.

එසේම එක්ස්පෝලංකා සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් වෙත පැවැති තනිපුද්ගල ආයෝජන ආකර්ෂණය තවදුරටත් වර්ධනය වෙද්දී එල්ඕඑල්සී සමූහය සඳහා වූ ආකර්ෂණයද ස්ථාවරව පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. මීට අමතරව හේලීස් සමූහයේ සමාගම් සඳහා වන මිලදී ගැනීමේ ආකර්ෂණයක්ද අද දිනයේදී දැකගත හැකි විය.

මේ අතර වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම වෙත ඉහළ විදේශ ආයෝජක උනන්දුවක් පෙන්නුම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් මාස 23කට පසුව දිනක් තුළ වැඩිම විදේශ ආයෝජන ගලා ඒම් ප්‍රමාණයක් වාර්තා කිරීමටද කොළඹ කොටස් හුවමාරුවට හැකි විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,651.38ත් ඒකක 7,680.55ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,659.00ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 16) දිනයට සාපේක්ෂව ඒකක 17.81ක් එනම් +0.23%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් හි සිදු වූ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් 48%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 77ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 88ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+14.11), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+7.06), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+3.6), හේකාර්බ් පීඑල්සී HAYC (+3.15), හේලීස් පීඑල්සී HAYL (+2.03), බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.95), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.08), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-2.04), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.75) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,079.59ක අගයක් ගත් අතර, එය ඊයේ (16දා) ‍ට සාපේක්ෂව ඒකක 6.92 ක එනම් +0.23%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (16දා) වාර්තා කළ රුපියල් බිලියන 2.71ට සාපේක්ෂව 45.7% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.39ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.55%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 684.89ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 52.32ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 632.57කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.04ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 615.85 කි. එසේම බයිරහා ෆාම්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 4.52ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,971ක් සඳහා උපයෝගිතා අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 50%කි. එසේම ප්‍රවාහන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 668ක සහ රුපියල් මිලියන 378ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 569