2020 දී NLB ආදායම 18% කින් DLB ආදායම 10% කින් අඩුවෙයි

මෙරට තුළ ලොතරැයි පත් අලෙවියේ නිරත ආයතන දෙක වන, මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) 2020 වසරේදී රැස් කරගත් ආදායම් 2019 වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩුවීමක් වාර්තා කර ඇතැයි පවසයි. විශේෂයෙන්ම 2020 වර්ෂයේදී බලපෑ කොවිඩ්-19 වසංගත තත්ත්වය ඊට හේතු වී තිබේ.

මුදල් අමාත්‍යාංශය මගින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද 2020 වසරේ මූල්‍ය වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. මෙම ආයතන දෙකම රජයට අයත් ව්‍යවසායන් යටතට අයත් වෙයි.

ඒ අතරින් ජාතික ලොතරැයි මණ්ඩලය 2020 වසරේදී රැස් කරගෙන ඇති ආදායම රුපියල් මිලියන 18,041ක් වන අතර එය 2019 දී රැස් කරගත් ආදායම වූ රුපියල් මිලියන 20,079ට සාපේක්ෂව රුපියල් මිලියන 4,038කින් එනම් 18%ක අඩුවීමක් ලෙස සටහන්ව ඇත.

එසේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2020 වසරේදී රුපියල් මිලියන 15,523ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව ඇති අතර, එය 2019 වසරේදී එම මණ්ඩලය මගින් රැස් කරගත් රුපියල් මිලියන 17,361කට සාපේක්ෂව රුපියල් මිලියන 1,838ක් එනම් 10%ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.

2020 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් වර්ග 15ක් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් වර්ග 12ක් අලෙවි කරතිබේ.

එහිදී ආයතන දෙක විසින්ම මෙම ලොතරැයි හරහා 2020 දී ත්‍යාගලාභීන් අතර රුපියල් බිලියන 16කට වඩා වැඩි මුදලක් බෙදා හැර තිබේ. එහෙත් එම මුදල 2019 වසරේදී එම ආයතන දෙක මගින්ම බෙදා දුන් තෑගි මුදල වූ රුපියල් බිලියන 19.5ට සාපේක්ෂව 18%ක අඩු වීමකි.

කොවිඩ්19 වසංගතය මගින් ඇතිකරන ලද සීමාවන් නිසා ඇතිවූ විකිණුම් අඩුවීම ඊට හේතු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් ලොතරැයි මණ්ඩල දෙකම 2020 වසරේදී සිය බදු පෙර ලාභය සහ බදු පසු ශුද්ධ ලාභය 2019 වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.

ඒ අතරින් ජාතික ලොතරැයි මණ්ඩලයේ 2020 වසරේ බදු පෙර ලාභය රුපියල් මිලියන 1,435ක් ලෙස සටහන්ව ඇත. එය 2019 වසරේදී රුපියල් මිලියන 1,323ක් ලෙස සටහන් විය. එසේම එම මණ්ඩලයේ බදු පසු ශුද්ධලාභය රුපියල් 1,083ක් ලෙස සටහන්ව ඇත. 2019 දී එය රුපියල් මිලියන 606 ක් විය.

2020 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රජයට ආදායම් බදු වශයෙන් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 352 කි. එය 2019 දී රුපියල් මිලියන 717ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2020 වසරේ බදු පෙර ලාභය රුපියල් මිලියන 2,994ක් ලෙස සටහන්ව ඇත. එය 2019 වසරේදී රුපියල් මිලියන 2,897ක් ලෙස සටහන් විය. එසේම එම මණ්ඩලයේ බදු පසු ශුද්ධලාභය රුපියල් 2,983ක් ලෙස සටහන්ව ඇත. 2019 දී එය රුපියල් මිලියන 2,662 ක් විය.

2020 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රජයට ආදායම් බදු වශයෙන් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 11 කි. එය 2019 දී රුපියල් මිලියන 235 කි.

මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට දක්වන දායකත්වය ආදායමෙන් 17.9%ක් ලෙස ලබා දී ඇති අතර, එය රුපියල් මිලියන 2,775 කි. පසුගිය 2019 දී එය රුපියල් මිලියන 2,428ක් වූ අතර 14% ක ප්‍රතිශතයක් ගෙන තිබුණි.

Visits: 55