සූර්ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් ඩො. මිලියන 100ක ණයක්

මෙරට තුළ සූර්ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනෙහි ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය මාලාවක් (Line Of Credit) පිරිනැමීමට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අද දිනයේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දීය රජය වෙනුවෙන්, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් මෙම ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹීම මෙහිදී සිදුව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉදිරියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර මෙම සම්මුති ගිවිසුම හුවමාරු කරගැනීම සිදුව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රකාරව ‘සූර්ය බලශක්ති’ උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වී තිබේ.

එහිදී රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි.

ඒ අනුව අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමටද පියවර ගෙන ඇත.

එසේම ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනයද මෙම වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 86