LOLC සහ EXPO ඉහළ යාමෙන් දර්ශක අගයන් ධන වෙයි

අද (ජූනි 16) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව වඩාත් සාර්ථක අවස්ථාවකට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම එල්ඕඑල්සී සමූහයේ සමාගම් සඳහා වන මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් පැවැතීම ඊට හේතුව වී තිබේ. එහිදී LOLC, NIFL සහ BRWN යන සමාගම් වෙත වූ ඉල්ලුම තවත් ඉහළ ගොස් ඇත.

එසේම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී යන සමාගම් සඳහා වූ ආයෝජන ක්‍රියාකාරකම්ද කැපී පෙනෙන ලෙස ඉහළයාමක් දැකගත හැකි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,630.42ත් ඒකක 7,665.32ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,641.19ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 15) දිනයට සාපේක්ෂව ඒකක 35.66ක් එනම් +0.47%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 78ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+11.29), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+10.15), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+8.59), හේලීස් පීඑල්සී HAYL (+4.23), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+2.22), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-2.98), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-2.66), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.57), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.67), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.44) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,072.67ක අගයක් ගත් අතර, එය ඊයේ (15දා) ‍ට සාපේක්ෂව ඒකක 21.15 ක එනම් -0.69%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊටේ (15දා) වාර්තා කළ රුපියල් බිලියන 1.75ට සාපේක්ෂව 56% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.38ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.28%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 347.86ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 503.43ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 155.57කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.67ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා පීඑල්සී (නිෂ්ඡන්ද කොටස්) විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.21 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 96.21ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 693ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම බැංකු සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 561ක සහ රුපියල් මිලියන 486ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 254