පෙරවරුවේදී දර්ශක අගයන් වෙත එල්ල වූ බලපෑම LOLC සහ බැංකු නිසා පහව යයි

අද (ජූනි 11) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනු කැපී පෙනෙන පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම රට තුළ කොවිඩ්-19 මරණවල වර්ධනය සහ යුරෝපා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනා නිසා සමාගම් කොටස් තුළ පැවැති වාෂ්පශීලතාව ඒ සඳහා හේතු වී තිබේ.

කෙසේ වෙතත් දිනයේ පසු අවස්ථාවේදී එල්ඕඑල්සී, නිෂ්පාදන අංශයේ සහ බැංකු අංශයේ සමාගම් තුළ කොටස් වටිනාකම් ඉහළ යාම ආරම්භයේදී පෙන්නුම් කළ මෙම අහිමිවීම් යම් තරමකින් අකාමකා දමමින් සියලු කොටස් මිල දර්ශකය ධන අගයක් ගැනීමට දායක වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,567.06ත් ඒකක 7,629.27ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,610.30ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 10) දිනයට සාපේක්ෂව ඒකක 9.14ක් එනම් +0.12%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි සිදු වූ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් 1%ක දායකත්වයක් ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 64ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 112ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ලිමිටඩ් LOLC (+9.39), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+4.44), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+4.32), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.7), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+3.56), වැලිබල් වන් පීඑල්සී VONE (-2.83), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.65), හේලීස් පීඑල්සී HAYL (-2.54), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.08), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-1.75) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,067.03ක අගයක් ගත් අතර, එය ඊයේ (10දා) ‍ට සාපේක්ෂව ඒකක 7.07 ක එනම් -0.23%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.28ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (10දා) වාර්තා කළ රුපියල් බිලියන 3.22ට සාපේක්ෂව 29% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.37ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.82%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 78.09ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 170.38ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 92.29කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.46ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 20.93 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 92.35ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 698ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 31%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 386ක සහ රුපියල් මිලියන 356ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 347