දේවක කුරේ යුනයිටඩ් මෝටර්ස් සභාපති ධුරයට

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස දේවක කුරේ මහතා තෝරා ගෙන ඇතැයි එම සමාගම පවසයි. ඊයේ දිනයේදී පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම නව පත් කරගැනීම සිදු කර තිබේ.

මෙහිදී දේවක කුරේ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සභාපතිධුරය සඳහා තෝරා ගැනීම සිදු කරගෙන ඇති බවත්, එම පත්වීම ලබන ජූලි 27 වැනිදා සිට බලාත්මක වන බවත් යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම පවසයි.

මෙතෙක් කලක් සමාගමේ සභාපති ධුරය දැරූ සුනිල් ජී විජේසිංහ මහතා ලබන ජූලි 27 වැනිදා පැවැත්වෙන එහි වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුව සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමගින්ම කුරේ මහතා එම ධුරයට පත් වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන දේවක කුරේ මහතා එක්සත් රාජධානියේ කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේද සාමාජිකයෙකි. ඒ මහතා වසර 40කට අධික කාලයක් Ernst & Young ආයතනයේ සේවය කර ඇත.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ සභාපති ධුරයට පත්වන අවස්ථාව වනවිට දේවක කුරේ මහතා තවත් සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධුර දරමින් සිටියි.

හැටන් නැෂනල් බැංකුව, එච්වීඒ ෆුඩ්ස් පීඑල්සී සමාගම ඒ අතරින් ලැයිස්තුගත සමාගම් වෙයි. මීට අමතරව ජැට් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම, ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (ලංකා) සමාගම, එම්එස්එල් කැන්ඩි ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම, ලංකා ටුවර්ස් ඇන්ඩ් ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගම, සෙක්‍රටේරියල් සර්විසස් පෞද්ගලික සමාගම, කලම්බු මෙඩිකල් ඇන්ඩ් ජෙනරල් කම්පැනි සමාගම, එම්එස්එල් මැනේජ්මන්ට් ඔඩිට් සර්විසස් පෞද්ගලික සමාගම සහ එම්එස්එල් ඔටිඩ්ස් කැන්ඩි පෞද්ගලික සමාගම එම සමාගම් වෙයි. ඊට අමතරව මැනේජ්මන්ට් සිස්ටම්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද ඒ මහතා කටයුතු කරයි.

Visits: 358