අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (ජූනි 11දා) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල ඉහළ යන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137.00 සිට 157.00 දක්වා රුපියල් 20.00කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 161.00 සිට රුපියල් 184.00 ක් දක්වා රුපියල් 23.00 කින්ද ඉහළ යන බව සඳහන් වෙයි.

එසේම ඩීසල් ලීටරයක් රුපියල් 104.00 සිට රුපියල් 111.00 ක් දක්වා රුපියල් 7.00 කින්ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 132.00 සිට රුපියල් 144.00ක් දක්වා රුපියල් 12කින්ද මිල ඉහළ යන බව බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මෙලෙස අමාත්‍යාංශය මගින් නිකුත් කළ නව ඉන්ධන මිල සංශෝධනය අනුව මිල ඉහළ නංවන බව සිපෙට්කෝ සමාගම නිවේදනය කර තිබේ. එසේම ලංකා අයිඕසී සමාගමත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නියමිතව ඇතැයි පැවසෙයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන්හි පවතින ඉහළ යාම පිළිබඳව සලකමින් මෙරට ඉන්ධන මිල මෙලෙස සංශෝධනයට ලක් කරන බව බලශක්ති අමාත්‍යවරයා අද සවස ප්‍රකාශ කර තිබුණි.

අද රාත්‍රී 10.30 වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 72.91ක් ලෙස සටහන්ව තිබූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක ‍මිල ඩොලර් 71.22ක් ලෙස සටහන්ව තිබුණි.

කොරෝනා වසංගතය නිසා අඩපණව තිබූ ලෝක ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් වීම ඇතුළු කාරණා මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළයාමට හේතු වී තිබේ. අගෝස්තු මාසය වනවිට ඇතැම් විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ක් දක්වා ඉහළ යා හැකි බවටද පුරෝකතන ඉදිරිපත්ව තිබේ.

Visits: 105