යශෝධා හෝල්ඩින්ග්ස් ගොනු කළ නඩුවෙන් මහජන බැංකුව ජය ගනී

යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, තමන් විසින් එම බැංකුව වෙත උකස් කරන ලද දේපල බැහැර කිරීමෙන් නොගෙවා පැහැර හරින ලද ණය මුදල් අයකරගැනීම වැලැක්වීම සදහා මහජන බැංකුවට එරෙහිව පවරන ලද නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැංකුවේ වාසියට තීන්දුව ලබා දුන් බව මහජන බැංකුව පවසයි.

මෙම උකස් කරන ලද දේපල යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු සතු දේපලක් වන අතර, එම අධ්‍යක්ෂකවරයා මෙම ණය මුදලේ ප‍්‍රතිලාභ ලබා ඇති බැවින් එකී දේපල විකුණා ණය මුදල අයකර ගැනීමට කටයුතු කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැංකුවට අවසර ලබා දී තිබේ.

මෙම නඩුව යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම විසින් පවරන ලද්දේ සංශෝධිත පරිදි වූ 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ ප‍්‍රතිපාදන යටතේ මහජන බැංකුව විසින්  මෙමම දේපල පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් බවත් මහජන බැංකුව පවසයි.

දෙපාර්ශවයේම නීති තර්ක සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන බැංකුවට උකස් කරන දේපල බැහැර කිරීමට අවසර ලබා දීම සිදු කර තිබේ.

මෙම නඩු තීන්දුව මගින් සමාගම් අධ්‍යක්ෂකවරයෙකුට සමාගමේ ආවරණය යටතේ හිඳිමින් තමා සතු දේපලක් බැංකුවක් වෙත උකස් තබා සමාගම නමින් ලබාගත් ණය මුදලක් නොගෙවා පැහැර හැරීම හේතුකොට එකී දේපල පරාටේ බලතල යටතේ විකිණීමෙන් මඟහැර යා නොහැකි බව තීරණය විය.

මෙම නඩු තීන්දුව මගින් යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් තිස්සේ මහජන බැංකුව වෙත නොගෙවා පැහැර හැර ඇති ණය මුදල් අයකර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, මෙය  බැංකුව වෙත ණය මුදල් නොගෙවා පැහැර හරින්නන් සම්බන්ධ විශේෂිත වූ තීන්දුවක් ලෙස සැළකිය හැකි යැයිද බැංකු විශේෂඥයින්ගේ මතය වී තිබේ.

Visits: 399