ප්‍රයිම් ලෑන්ඩ්ස් දිනයේ පිරිවැටුමෙන් 31%කට වගකියයි

අද (ජූනි 08) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනු කැපී පෙනෙන පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම්හි කොටස් තුළ පැවැති වාෂ්පශීලතාව සහ ආයෝජන දැක්මේ සිදු වූ අපගමනයද මේ සඳහා හේතු වී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේදී ලැයිස්තුගත වූ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් දිනයේ සමස්ත පිරිවැටුමෙන් 31%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ. එහිදී වෙළෙඳ පොළ කොටසක අගය මූලික නිකුතුවේදී සටහන් කළ අගයට වඩා ඉහළ යාමක් සිදු වුවත්, එය බලාපොරොත්තු වූ තරමට පත් නොවී පසුව යම් පමණකින් පහළ වැටීමක් සිදුවිය.

මේ අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් ක්‍රියාත්මක සංචරණ සීමාද ආයෝජක ආකර්ෂණය පිළිබඳ බලපෑම් එල්ල කෙරුණු බවද කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,535.58ත් ඒකක 7,600.28ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,542.20ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 07) දිනයට සාපේක්ෂව ඒකක 49.70ක් එනම් -0.65%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 60ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 116ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් ලිමිටඩ් PLR (+3.19), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+1.1), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+0.95), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+0.84), බීපීපීඑක් හෝල්ඩිංග්ස් පීඑල්සී BPPL (+0.56), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-4.84), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-3.82), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-3.1), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-2.96) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,033.01ක අගයක් ගත් අතර, එය ඊයේ (07දා) ‍ට සාපේක්ෂව ඒකක 22.13 ක එනම් -0.72%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.0ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (07දා) වාර්තා කළ රුපියල් බිලියන 2.1ට සාපේක්ෂව 4.9% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.34ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.8%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 48.11ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 70.88ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 22.78කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 25.84ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.86 කි. එසේම සිංගර් ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 616ක් සඳහා දේපළ වෙළෙඳාම් අංශය දායකත්වය ලබා දී තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 461ක සහ රුපියල් මිලියන 180ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 405